ගෙපැලේ මිත්තරයෝ

බල්ලොත් එක්ක බෑ



                 මිනසාගේ පැරනිම මිතුරා බල්ලාය. නමුත් ඉද හිට බල්ලෝ බලු වැඩ කරති. පැරනි මිතුරාට ද්‍රෝහී කම් කරති. මිනිසාව සපා කති. ලොකු බල්ලන් නම් කමක් නැත, පොඩි උන්ද එසේමය.  



එදා..

                           අපේ ගෙදරට කොහේදෝ සිට බලු පැටියෙක් ආවේය. නන්නාඳුනන එකෙකි. පෙනුමෙන් හුරතල්ය. කඩාගෙන බිදගෙන දුවගෙන ආ බලු පැටියා කෙලින්ම නැවතුනේ පුටුවක් යටය. ලොකු අක්කාගේ සුරතල් දූ සිගිත්ත බලු පැටියා අල්ලන්නට හැදුවේය. කෙලි පොඩ්ඩ බල්ලා අල්ලන්නට පෙර මාමා වන මා විසින් බල්ලා අල්ලා එලියට දැමීම සදහා පුටුව යටට අත දැම්මේය 

හව්......  


                             වම් අතේ මහපට ඇගිල්ල වටා අල්ල පෙදෙසට බර වන්නට දත් සතරක් වැදී තිබුනේය. එක් දත් පාරක් තරමක් ගැඹුරට වැදී තිබුනේ එයින් නොනවත්වාම ලේ ගලා යන්නට වූයේය. සබන් ගා සෝදත්දීත් නොනවත්වා ලේ ගලා යන්නට වූ අතර ලේ ගලා යාම නැවතුනේ විනාඩි 5 කට පමණ පසුවය.

"හෙටම ගිහින් බෙහෙත් විද ගන්න නැත්තං ඔයාට ජලභීතිකාව හැදෙයි."  අක්කලා දෙන්නා උපදෙස් දුන්නේය.

"දැම්මම ඉස්පිරිතාලේ ගියොත් හොද නැද්දඅම්මා කළබලවී ඇසුවාය 

බලු පැටියාට කොසු පහරක් දී  වත්ත සතර මායිමෙන් එහාටම එළවා දැමූ තාත්තා, ගෙට ගොඩවූයේ "හෙට උදේම ඉස්පිරිතාලේ යංයැයි විධානයක ස්වරූපයෙන් පවසමිනි.

හෙට වැඩය. වැඩට යා යුතුමය.  

"හෙට වැඩට ගිහින් දවල් වෙලා  කොහෙන් හරි බෙහෙත් විද ගන්නම් " මම අවසාන තීරණය දුන්නෙමි.  ඒ තීරණයට විරුද්ධව අතුරු යෝජනා විශාල ප්‍රමාණයක් ආවත් මාගේ තීරණයේම රැදී සිටින්නට මා  සමත් වුනෙමි.


දෙවෙනි දා


වැඩ වැඩ වැඩ... අම්මා වරින් වර කතා කරමින් බෙහෙත් විදින්න ගියාදැයි ඇසුවේය 
 "තාම නෑ , තව ටිකකින් යනවා"   
දවස ගෙවී ගියේය බෙහෙත් විද්දේ නැත. 

 තෙවෙනි දා 


                           දහසකුත් බැනුම් මැද වැඩට ගියේ අදනම් කොහොම හරි බෙහෙත් විදගන්නවා යැයි සිතමිනි. දහවලේ මිතුරකුගේ බයිසිකලයක් ඉල්ලා ගෙන බොරැල්ලේ ඇති වෛද්‍ය පර්යේෂණායතනයට ( MRI ) ගියෙමි 
"ඩොක්ට නෑ ලන්ච් වලට ගිහින් එන්නෙ එකහමාරට"   ආරක්ෂක නිලධාරියා පවසා සිටියේය.  "වාඩි වෙලා ඉන්න.."

එකහමාර වීමට මිනිත්තු 45 පමණ ඇත.  දහවල් ආහාර වෙලාව නිසාදෝ බොහෝ දෙනෙක් නිදහසේ එහේ මෙහේ ගියේය. මමද ඔහේ බලා සිටියෙමි. 

 දැන් කාලේ ට්‍රෙන්ඩ් එක දනිස්ස ගාවට දිග සායවල් අදින එක වෙන්නැති. 

එකයි තිස් පහට පමණ සුන්දර තරුණියක් ආවේය. "ඔය බල්ලා කාපු එක්කෙනා ඇතුලට යන්න."  ආරක්ෂක නිලධාරියා පැවසුවේය. 

"මොකද උනේ."
 රූමත් වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට ලැබීමත් එක්තරා පිනක්ය.  මම ඇය දෙස බලාගෙනම සිදුවීම විස්තර කලෙමි.  


"බෙහෙත් විදින්න වෙයි. මම ලියුමක් දෙන්නම්. කලුබොවිල හරි කොළඹ හරි ගිහින් බෙහෙත් විද ගන්න." 
රුව තරම්ම ගුණවත් වූ ඇය කාරුණිකව පවසා සිටියාය.  

            නැවතත් රැකියාව කරන ස්ථානයට ගොස් එහි සිටින්නවුන්ට විස්තරය පවසා කලුබෝවිල රෝහලට ගියෙමි. ඒ වන විට සවස හතරට ආසන්නව තිබුනේය. 

"අපි හතරට මේ යුනිට් එක වහනවා. ඒ නිසා දැන් මෙතනින් බෙහෙත් ගහන්න බෑ. ඔයාට ඇඩ්මිට් වෙන්න වෙනවා. එතකොට වෝඩ් එකෙන් ඉන්ජෙක්ෂන් ගහවි." ජලභීතිකා අංශය භාරව සිටි වෛද්‍යවරිය පවසා සිටියාය.

"ඇඩ්මිට් නොවී හෙට උදේම ආවොත් බැරිද ඩොක්ට "

"කවදද බල්ල කෑවේ."

"පෙරේදා  රෑ "

"පෙරේදා... බෑ බෑ දැන්මම ඇඩ්මිට් වෙන්න." ඇය නියෝග කලාය.. 

සියලුම ලියකියවිලි වැඩ අවසන් කරගෙන වාට්ටුවට ගියෙමි. රෝගීන්ගේ ප්‍රමාණයට වාට්ටුව පොඩි වැඩිය. බොහෝ දෙනෙක් පුටුවලට වී සිටියේය. පෙනුමෙන් ලෙඩක් නොමැති නිසා මා සිටියේ සිටගෙනය.  

හෙදියන් හා වෛද්‍යවරු කාර්යයබහුලය. වාට්ටුවට ඔරොත්තු නෙදෙන තරම් ප්‍රමාණයක් රෝගීන් සිටියි. 

"ඉන්ජෙක්ෂන් ගෙනල්ලා ටෙස්ට් කරලා සේරම කරන්න ටිකක් වෙලා යයි. අනිවාර්යෙන්ම අද නවතින්න වෙනවා."   මා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා පවසා සිටියේය. 

"ඩොක්ට මට අද ගිහින් හෙට උදේ ඇවිත් බෙහෙත් විද ගන්න බැරිද."

"අදම පුලුවන් නම් හොදයි. කමක් නෑ හෙට හරි විදගන්න. කොහොම හරි විදගන්න. ඔයා අනිවාර්යෙන්ම මේ ඉන්ජෙක්ෂන් එක විද ගන්නම ඕනෙ."   වෛද්‍යවරයා අවධාරනයෙන් පැවසුවේය.

"හොදයි  ඩොක්ට මම අනිවාර්යෙන්ම හෙට එන්නම් "

"එහෙනම් කැමැත්තෙන් යනවා කියලා ලියලා යන්න."

  ආදාල ලියකියවිලි සම්පූර්ණ කල මම නැවතත්  රැකියා ස්ථානය වෙත ගියෙමි.  
"අද බෙහෙත් විදගන්න බැරි උනා. හෙට තමයි විදගන්න වෙන්නේ. මම හෙට නිවාඩුවක් දානවා."

සිව්වන දා 


                       පාන්දර  8 පමණ  අවදිවී රෝහලට යාමට සූදානම් වුනෙමි.   කලුබෝවිල නෙවේ. හෝමාගම මූලික රෝහලටය. 

              OPD  එකෙන් තුන්ඩුවක් ගෙන අදාල අංශය භාර වෙද්‍යෙවරයා වෙත ගියෙමි. MRI එකේ ලස්සන දොස්තර නෝනා දුන් ලිපිය එහි සිටි වෛද්‍යවරයාට පෙන්වූවෙමි.  ඔහු කඩිනමින් ලියකියවිලි පිරවීම් කටයුතු සිදුකර මූලික ප්‍රතිකාර ඒකකය වෙත යෙමු කලේය. රජයේ රෝහලකදී බලාපොරොත්තු නොවිය හැකි තරම් වේගයෙන් රෝහල් කාර්යය මණ්ඩලය ක්‍රියා කලේය. විවධාකාර කොල බොහෝ ගනනක් පිරවීම සදහා එහේ මෙහේ යාමට වුවත්. ඒ කිසිම අවස්ථාවකදී අනවශ්‍ය ප්‍රමාධයන් සිදුවූයේ නැත.  

"මේ ඉන්ජෙක්ෂන් එක සමහර විට ඇලජික් වෙන්න පුලුවන් ඒ නිසා අපි මුලින්ම ටෙස්ට් කරන්න  චුට්ටක් ගහලා බලමු. "   


හෙදියක් පැමින එන්නක අසාත්මික වනවාදැයි බැලීම සදහා එන්නත් දෙකක් මැනික් කටුවට පහලින් විද්දේය. 


"පැය බාගයක් විතර ඉදලා බලමු."

 මම පුටුවක වාඩි වී මිනිත්තු ගනන් කරන්නට වීමි.  පැය භාගයකට පමණ පසු මා පරීක්ෂා කර බැලූ "වෛද්‍යවරිය  ප්‍රශ්නයක් නෑ මෙයාව ඉන්ජෙක් කරන්න පුලුවන් යැයි පැවසුවේය" . අනතුරුව   මොනවාදෝ කොලයක ලියූ ඇය එය හෙදියක් අතට දුන්නාය. 

 මාව රෝහල් ඇදක හන්සි වීමට සැලැස්වූ ඇය එන්නත් සූදානම් කරන්නට වූවාය. 
 "බල්ලෝ කෑවම බුරිය වටේට ඉන්ජෙක්ෂන් 21 ගහනවා." මා අසා තිබුනේ එසේයි.

"මිස් ඉන්ජෙක්ෂන් කීයක් ගහනවද.??"

"ඩොක්ට ඔයාට ඉන්ජෙක්ෂන් 15 ලියලා තියෙනවා. තුවාලේ වටේට ගහන්න. " මට හීන් දාඩිය දැම්මේය.   "තව ටෙටනස් වලට එකයි. ඇලජික් උනොත් කියලා කෝකටත් කැනියුලා එකකුත් දාන්න වෙනවා "
මම ගනන් හැදුවෙමි. සේරම 19 ක්. 
                     හෙදිය සියල්ල සූදානම් කල පසු වෛද්‍යවරියක් පැමින  එන්නත් ගැසීමට වූවාය.   තුවාලය වටේට 11 ද අත් දෙකට හා කකුල් දෙකට 4ක්ද බැගින්  ගැසූ ඇය පැය දෙකක් විතර ඉදලා බලමු යැයි පැවසුවාය.   රෝහලේ ඇදක පැය කිහිපයක් සැපට නිදා ගත් මම ඇදුම් කන කකුල් ඉදිමුනු අතක් සමග සවස් වී ගෙදරට ගියෙමි. 

            බොරැල්ලේ ඇති වෛද්‍ය පර්යේෂණායතනය  ( MRI ) , කළුබෝවිල ශික්ෂණ රෝහල හා හෝමාගම මූලික රෝහලේ දී මට මුණ ගැසුනු සියළුම වෛද්‍යවරුන් , හෙදියන්  හා අනෙකුත් සියලුම සේවකයන් ඉතාමත් සුහදශීලි ප්‍රියමනාප පුද්ගලයන් වූ අතර ඔවුන් සියලු දෙනාම පාහේ තමන්ගේ කාර්යය හොදින් නිවැරදිව  සිදු කිරීමට මහන්සි ගත් බව කිව යුතුමය. කලුබෝවිල රෝහලේ ප්‍රමාදයන් සිදුවන්නේ කාර්යය මණ්ඩලයේ වරදක් නිසා නොව සම්පත් හිග කම නිසා බව මාගේ හැගීමයි. වාට්ටුවකට ඔරොත්තු නොදෙන තරම් රෝගීන් පිරිසක් රැදී සිටීම නිසාවෙන්  අතිශය කාර්යය බහුල තැනක් වන  එහිදී සිදුවිය හැකි යම් යම් අඩු පාඩු තත්වයන් උපේක්ෂාවෙන් විදදරා ගැනීම මිනිසුන් වන අපගේ යුතුකමක් ලෙස මම විශ්වාස කරමි.