ගෙපැලේ මිත්තරයෝ

දෙතනගල Dethanagala

                      දිනය 2013 නොවෙම්බර් මස 09 වෙනිදායි . ගණනින් දස දෙනෙකු වූ අප සැරසෙන්නේ තවත් පා ගමනක් නොහොත් කඳුතරනයකටයි. උදෑසන 6ට මහරගමින් බලංගොඩ බලා දිවෙන බසය අපගේ ගමනේ ආරම්භය සනිටුහන් කලේය. මෙවර චාරිකාව තරමක් සුවිශේෂී එකකි. ඒ හෝමාගම බාලදක්ෂ දිසාවේ පළමු වන මානවක සමූහයේ කුළුදුල් චාරිකාව වන නිසයි. නමුත් අප පිරිසෙන් දෙදෙනකු පමණකි මෙවන් චාරිකා සදහා නවකයන් වන්නේ.

                   සංවිධානය මානවක සමූහය මගින් නිසාදෝ පළමු බිස්කට් පැකට්ටුවේ අවසානය මීපේ නගරය ආසන්නයේදී සනිටුහන් කරන්නට අප සමත්වූයේය. පෙරවරු 10ට පමණ බලංගොඩ නගරයෙන් බසින විටදී ග්‍රෑම් 500යක පමණ  චොකලට් බිස්කට් , වඩේ 20 කට ආසන්න ප්‍රමාණයක්, බටර් තවරන ලද පාන්, මුරුක්කු කිලෝවකට ආසන්න ප්‍රමාණයක්, අඹ යුෂ බෝතලයක් වැනි ආහාර අපගේ ගබඩාවෙන් ඉවත් කරන්නට අප සමත්ව සිටියෙමු.  බලංගොඩ නගරයෙන් මාරතැන්න ගම්මානය බලා යන බසයකට ගොඩවු අපි පැයක පමණ ගමනකින් පසු මාර තැන්න ගම්මානයෙන් බැස ගත්තෙමු. බසයේ ගමනාන්තය එය වූ අතර අප පිරිසට අමතරව ඒ වන වට එහි සිටියේ එක් කුඩා ගෑනු ළමයෙක් පමණකි. ගම් වැසියන් කිහිපදෙනෙකුගෙන් විමසා නිවැරදි මාර්ගය සොයා ගත් අපගේ දැඩි අවදානය යොමු වූයේ ඔවුන් නොයන්නයයි තරයේ අවවාද කල කන්දක් වෙතය. දෙතනගල යනු මුදුන් දෙකකින් යුත්  කාන්තාවතගේ පිරිපුන් පියොවුරු යුවළ සිහිපත් කරවන සුන්දර කඳු වැටියකි.
(ගන මීදුම නිසා අපට මෙවන් දර්ශනයක් දක්න‍ට නොලැබුනේය. මෙම ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)

 අපට නොයන ලෙස අවවාද කල කල කන්ද පිහිටා තිබුනේ දෙතනගලට කඳුවලට දකුණු පසට වන්නටය. මේ කදු වැටි දෙක අතරින් සුන්දර දිය පහරක් ගලා ගෙන ගියේය.
                   අපගේ මූලික අරමුණ දෙතනගල තරණය බැවින් ගම්වැසියන් පෙන්වූ මග දිගේ ගමන් කිරීමට පටන් ගත්තෙමු. ගමනේ මුල් අධියර තේ වත්තක් මැදින්ය. 

ඉක්මනින්ම තේ වත්ත අවසන් වූ අතර රූස්ස ගසින් පිරුනු වනාන්තරයක් තේ වත්තට මායිම්ව පිහිටා තිබුනේය. අපේ මාර්ගය වැටී තිබුනේ  ඒ හරහායි.

 මේ දිනවල වරින් වර ඇදහැලෙන වර්ෂාව නිසා තරමක තෙත් ගතියක් පෙන්වූ වනය තුල අපගේ තනි නොතනියටදෝ කූඩැල්ලන් බුරුතු පිටින් සිටියේය.  තරමක් දුශ්කර වූ නැග්මක් සහිතවූ අඩි පාරක ගමන් කල අපි සවස 3න පමණ වන විට පළමු කඳු මුදුනට ලගා වූයෙමු. අප ගමන ආරම්භ කල මාරතැන්න ගම්මානයේ සිට බලන කල අප පැමිණ සිටින්නේ වම්පස කඳු මුදුනටයි. හාත්පස දක්නට ලැබෙන  දර්ශනය කෙතරම් චමත්කාරජනකදැයි කීමට අපට නොහැකි වූයේ අප වටකර සිටි ගන මීදුමට පින්සිඳුවන්නටය.


 නමුත් ඉතාමත්  සුලු මොහොතකට හෝ දකුණු පස කඳු මුදුනේ දර්ශනයක් නොපෙන්වා නොසිටින්නට තරම් මීදුම අකාරුණික නොවූයේය. 

 මෙබදු චාරිකාවලදී දීවා ආහාරය වන චොකලට් බිස්කට් මේ අවස්ථාවේදීද අපට පිහිට වූයේය. වෙනසකට තිබුනේ ඒ අතරට පෙති බදින ලද මයියොක්කා එකතු වීමයි. 
       දිවා ආහාරයෙන් පසුව දෙවන කඳු මුදුන බලා ගමන් ඇරඹුවෙමු.දෙවන කඳු මුදුන පිහිටා තිබුනේ පලමු කඳු මුදුනට බටහිර දෙසට වන්නටය.  පළමු කඳු මුදුනේ සිට මද දුරක් පහලට බැස අඩි පාර දෙකට බෙදෙන ස්ථානයකින් නැවත ඉහලට ගමන් කිරීමෙන් දෙවන කඳු මුදුනට ලගා විය හැකි විය. දෙවන කඳු මුදුන කරා දිවෙන පාර කලෙකින් කිසිවෙකුත් බාවිතා නොකරන ලද්දකි. අඩි පාරක සේයාවක් යන්තමට වාගේ සොයා ගත් අපි මාලිමාවද බාවිතා කරමින් දෙවන කඳු මුදුනට ලගා වූයෙමු. මෙහි කඳු මුදුන ගස් කොලන් වලින් පිරී තිබුනේය. වට පිටාව නෙපෙනන තරමට මීදුමද දැඩිවූ අතර මෙම කඳු මුදුනේ සිට නම් මීදුම රහිත දිනයකදී වුවද අවට බැලීමට නොහැකි තරමට ගස්  වැවී තිබේ. 
එම කඳු මුදුනේ සිට නැවත පාර දෙකට බෙදුන ස්ථානය දක්වා වූ මාර්ගය තරමක දුශ්කර කාර්යයක් වූයේය. කෙසේ හෝ සවස 5 පමණ වන විට අප අඩි පාර දෙකට බෙදෙන ස්ථානය වෙත පැමිනියෙමු. මේ වන විට අප සතුව පැවති ජල ප්‍රමාණය ශ්‍රීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවති අතර මෙතෙක් ගමනේ කිසිඳු ආකාරයක ජලය පිළිබද හෝඩුවාවක්ද  නොවීය. අප කඳවුරු බදින්නට තෝරා ගත් බිම පිහිටා තිබුනේ කන්දේ මැද හරියට වන්නටය. එය පෙර කිසිවකු විසින් කඳවුරු බිමක් ලෙස භාවිතා කළ ස්ථානයකි. ඒ අසලින් දිය පහරක් ගලා යන්න‍ට ඇතැයි සිතිය හැකි තරමක ගැඹුරු කානුවක් (මිනිස් දෑතින් කපන ලද්දැකයි සිතිය හැකි කානුවක්) පිහිටා තිබුනේය. බොහෝ කලකට පෙර නම් එය ජලයෙන් පිරී පවතින්නට ඇත. අප අවසානයේ  තීරණය කලේ එම ස්ථානයේ කඳවුරු  බැද ගැනීමටත් කිහිප දෙනෙකු එම කාණුව දිගේ ඉහලට ජලය සොයා යෑමටත්ය.
          

            තරමක වේගයෙන් පහළට ගමන් කළ අපට කඳවුරු බිම හමුවන විට සවස 6 පමන වන්නට ඇත.  ජලය සොයා  පිටත් වුනේ මම, ඉන්දු හා  ලසන්ත අයියාය. හිස්ව තිබූ ජල බෝතල් සියල්ලම කූඩාරම් මල්ලකට දමා ගත් අපි විදුලි පන්දමේ ආලෝකයෙන් ජලය සොයා පිටත් වුනෙමු. ජලය සොයා අප ගමන් කලේ එක් පසෙක දල බෑවුමක්ද. අනෙක් පස දල නැග්මක් සහිත කන්දකටද  මැදිවූ අඩි 5ක්  පමණ පළල වූ තීරුවකිනි. කන්දට ආසන්නයෙන් පෙර කී කානුව කපා තිබූ අතර එම කානුව ගන කොල තට්ටුවකිනුත් එරෙන සුලු ස්භාවයකිනුත් යතු වූ නිසා අප  බෑවුමට ආසන්නයෙ වූ පටු මාර්ගයේ ගමන් කලෙමු. මඳ දුරකදීම ජලය පිළිබද හෝඩුවාවක් අසන්නට ලැබුනේය. ඒ දිය ඇල්ලක ශබ්දයක්ය.  මිටර් 500ක පමණ දුරක් ගිය විට අපට ජලය හමුවුනේය.

 කඳුවැටියේ බඳ වටා ගලා යන දිය පහරක් එම ස්ථානයෙදී  කන්දෙන් පහලට ගමන් කරන්නට පටන් ගනී. කඳවුරු බිම අසලින් කපා ඇති කානුව සෑදු මිනිසුන්ගේ අභිප්‍රාය වන්නට ඇත්තේ කන්දේ අනෙක් පසට ජලය ගෙනයාමයි.  නමුත් විය යුතු පරිද්දෙන්ම මෙවරද සොභාදහමට මිනිසා පරාජය වී තිබුනේය.
අප නැවත කඳවුරට එන විට කූඩාරම් සකසා ගිනිමැලයක්ද දල්වා තිබුනේය. අප ගෙනා වතුරෙන් කෝපි සෑදිමේ කාර්යය තාරක බාරගත් අතර. චින්තා ඒ වන විටද අල පුලුස්සමින් සිටියේය.

 පරිප්පු සෑදීම දිනුක විසින් බාරගෙන තිබුනේය. පාන් පරිප්පු සහ සීනි සම්බෝල අද රාත්‍රී ආහාර වේලට අයත්ය.  රාත්‍රී 8ට පමණ වන විට ආහාර ගත් අපි සිහින් පොදයක් වැටෙන්නට වු බැවින් කූඩාරම් තුලට රිංගා ගත්තේ නිදා ගැනීමටය.  වැස්ස ටිකින් ටික වැඩි වූ අතර කූඩාරම යටින් ජල පහරක් ගලා යන්නට වූයේ කූඩාරමේ බිම් රෙද්ද තෙත බරියම් කරමිනි. වැතිර නිදන්නට නොහැකි වූ  නිසා අපි පිටට පිට හේත්තු කරගෙන වාඩි වී  සිංදු කියන්නට පටන් ගත්තේය. සිංදු කවි කරමින් කවි කතා කරමින් එකා දෙන්නා නින්දට වැටුනු අතර බිම් රෙද්දේ තෙත් බවද නොතකා වැතිර  නිදා ගත්තේය.  වර්ෂාව අවසන් වන විට මධ්‍යම රාත්‍රිය පසුවී තිබූ අතර ගිනි මැළයේ ගිනි පුලිගු ඒ වන විටද යන්තමින් දැල්වෙමින තිබුනේය. දිනුක හා ඉන්දු නැගිට ගොස් ගිනි මැළය දැල්වූ අතර එකා දෙන්නා ගිනිමැළයේ පහස සොයා තෙතබරියම් වූ කූඩාරමෙන් නැගට ආවේය.  පාන්දර ‍2ක පමණ වන විට අහසේ තරු පායා තිබූ අතර, නැවත වැස්සක් නොවැටේවිය යන සිතුවිල්ලෙන් අප තෙත ඇඳුම් මාරු කලෙමු. වියළි ඇදුම් ඇඳ ගිනි මැලය වටේ වාඩි වී සිටින අපට ඊළගට අවශ්‍ය වූයේ කෝපි කෝප්පයක් තොල ගෑමටයි. සවස් වරුවේ ගෙන ආ ජලය ඒ වන විටද අවසන්ව තිබූ අතර මමත් ලසන්ත අයියාත් නැවත වරක් දිය පහර සොයා ගමන් කලෙමු.  කෝපි සාදා අවසන් වන විට කිහිප දෙනෙකු කූඩාරමට වි නින්දට ගොස් තිබූ අතර ඉතිරි අපි කිහිප දෙනා කෝපි කෝප්ප දෙක තුන බැගින් බිව්වෙමු. කූඩාරමට රිංගා ගත්තවුන් කූඩාරම බදු ගෙන තිබූ නිසා මම,ඉන්දු , දිනුක, ලසන්ත අයියා හා සුරංග අයියා ගිනි මැලය වටේ වාඩි වී වල් පල් දොඩවමින් රැය පහන් කලෙමු.

උදෑසන 6 පමණ වන විට නිදා සිටින්නවුන් අවධි කල අපි, උදෑසන ආහාරය සෑදීම ඔව්නට බාර දී නිදන්නට උත්සාහ කලෙමු. කෑකෝ ගසමින් ආහාර පිසින ඔවුන්ගේ ශබ්දය නිසා අපට නිදා ගන්නට හැකි වූයේ විනාඩි 5ක් පමණ කාලයක් වන්නට ඇත.
උදෑසන ආහාරය ලෙස නූඩ්ල්ස් සමඟ සීනි නැති කිරි තේ ලැබුනේය. අප සීනි ගෙන ආවේ වේල් දෙකකට පමනක් වන අතර. පාන්දර බිව් කෝපි නිසා සිනි අවසන්ව තිබුනේය. පෙරදින ඉතිරිව තිබූ පාන් ගින්නට අල්ලා කර කර ගත්විට ඒ සමග සීනි නැති තේ බීම එතරම් අමාරු නැත.

අප කඳවුරු බිමෙන් පිටත් වන විට පෙරවරු 9 පමණ වන්නට ඇත.සියල්ල හොදින් පිරිසිඳු කොට, පොලිතින් හා කුණු කසල සියල්ල පුලුස්සා දමා ගින්න හොඳින් නිවා දමා යන්නට අප අමතක නොකලේය.
ආපසු ගමන සිදුවන්නේ  අප ජලය ලබා ගත් දිය පහරේ පහලට ගමන් කිරීමෙන්ය. අප උපකල්පනය කලේ  මේ දිය පහර හා කඳු වැටි දෙක අතරින් ගලා යන අපට පහලදී හමූවූ දිය පහර  එකක් කියාය. ඒ  උපකල්පනය වැරදුනේ නැත.  දිය පහර දිගේ පහලට ගමන් කිරීම  මුලදී එතරම් අසීරු නොවුනත්  පහලට යන්නට යන්නට හමුවන සෘජු බෑවුම් සහිත දිය ඇළි තරණය අපහසු විය. අවස්ථා කීපයකදී  එවැනි ස්ථානයන් අතහැර වනයට රිංගා රවුමක් දිය පහර වෙත නැවතත් ගමන් කලෙමු.  එක් අවස්ථාවකදී එවන් දුශ්කර දිය ඇල්ලකදී මා  කඹයක ආධාරයෙන් පහලට බැස ගත් අතර ඒ බැසීමේදී ජලපහරේ වේගය නිසා මා සම්පූර්ණයෙන්ම තෙමුණු අතර  වූ අතර පිටේ එල්ලා ගෙන  සිටි බෑගයද  දියබත් විය.

 හොදින් පොලිතින් මලුවල දමා තිබූ නිසා ජංගම දුරකථනය හා   කැමරාවලට හානියක් වූයේ නැත. නමුත් එවන් උපකරණ ප්‍රවේසම් කරගත යුතු නිසාම චින්තා හැර අන් කිසිවකු කඹයෙන් ඇල්ල පහලට බැස්සේ නැත.  පහලට යත්ම ගමන අතිශය දුශ්කර වූ අතර ඇල්ල දෙපස වූ වනයද මිනිස් පහසින් දූෂණය නොවූ අතිශය ප්‍රාථමික වනයක ලක්ෂණ පෙන්නුම් කලේය. වනය හරහා ගමන් කල සමහර අවස්ථාවන් වලදී ඉදිරියෙන් ගමන් කරන්නා නෙපෙනෙනෙ තරමට ගනව වැඩුනු ශාක එහි බහුල වූයේය. කෙසේ හෝ අතිශය දුශ්කර ගමනකින් පසුව අප වනයෙන් පිටතට එනවිට සවස 2 පසුවන්නට ඇත

මාර තැන්න ගම්මානයට පැමිණි අපි දිය පහරේ සුදුසු ස්ථානයකින් දිය නා ගත්තෙමු. ආපසු ගමනට සුදුසු ලෙස සැරසුණ අපි,තාර දැමූ පාරක් දිගේ බස් නැවතුම් පලක් සොයා ගමන් ගත්තෙමු. අප බලංගොඩ නගරයට එන විට සවස 6 පමණ වන්නට ඇත.  බලංගොඩ සිට පැල්මඩුල්ලටත්  පැල්මඩුල්ලේ සිට කලුඅග්ගල දක්වාත් එතැන් සිට මහරගම දක්වාත් බස් රථ 3ක සේවය ලබා ගෙන රිදුම් දෙන දෙපා වලින් යුතුව නමුත් සතුටින් විසිර ගියෙමු.  

ඡායාරූප සඳහා අනුග්‍රහය චින්තක, ඉන්ද්‍රරාජ්, ලසන්ත, සුරංග
බුකියේ ඡයාරූප ඇල්බම් චින්තක, ඉන්ද්‍රරාජ්, ලසන්ත, සුරංග
මග පෙන්ව! බ්ලොග් අඩවිය ලක් විස්කම්  

කළකට පසු

කළකට පසු  ඇසෙන

කොළ සැලෙන සිහින් සර

කුරුලු හඬ කිචි බිචිය

අතර පතරින් ඇසෙන

බල්ලෙකුගෙ බිරුම් හඬ

විඳිමි මම හැකි පමණ

ලැබෙන්නට පෙර නැවතත් 






විසන්ධි වී ඇති
විදුලි බලය

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය..

              වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය. කියලා නැකත් ලියවිලා තිබුනට අපි කරන්නෙම ඔකෙ අනිත් පැත්තනේ. පටන් ගන්නේ ආහාර අනුභවයෙන්.

සේරටම කලින්

ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද 
බ්ලොග් ලියන හැමෝටමත්, කියවන හැමෝටමත්,
 බුකියේ, ටුවිටරේ, මැසෙන්ජරේ, ගූගලේ, මෙකී නොකී හැම තැනින්ම ජාල ගතවෙන සියලු දෙනාටමත්, 
ලංකාවාසී , ලෝක වාසී හැමෝටමත්,
ඔබටත්, මටත් 
කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක්  වේවා!!!

පුංචි කාලේ වැඩ අල්ලන නැකතට කිරි බත් කටක් කාලා දුවලා ගිහිල්ලා පොතක් බලනවා. ඒකත් අම්මගේ බල කිරීමට .පොතේ අකුරු දෙකක් උඩින් පල්ලෙන් කියවලා ආපහු දුවගෙන එනවා කෑම මේසේ ළගට.  ටිකක් තේරෙන වයසෙදිත් එහෙමයි. දැන් ඉතින් වැඩ අල්ලනවයි කියලා අමුතු දෙයක් කරන්නෙ නෑනේ.
මට හිතුනා මේ අවුරුද්දේ බ්ලොග් පෝස්ට එකක් ලියලා වැඩ අල්ලන්න.  
        අපේ තාත්තනං ඒ දවස් වල ලිදත් එක්ක ගනු දෙනු කරා. හාල් තුන පහ දාපු පොඩි පොට්ටනියක් ලිදට දාලා. අලුත් අවුරුද්දට ගන්න පළවෙනි වතුර ටික බෝතලයක දාලා අරන් තියනවා. ඒ වතුර එක ඊළග අවුරුද්ද වෙනකම්ම තියෙනවා. දැන් එහෙම දේවල් නෑ. දැන් ලිදත් එක්ක ගනු දෙනු බෑනේ. ඒක වහලා ලොකු කොන්ක්‍රීට් එකක් උඩින් දාලා. මෝටරේ ගහන්න තමයි තියෙන්නේ. අපි පුංචි දවස් වල අලුත් අවුරුද්ද එනවා කියලා තිබුන සන්තෝෂය දැන් නෑ. සමහර විට දැන් අපිට අවුරුද්ද බරක් වෙන නිසාද දන්නෙත් නෑ. තෑගි ගන්න, ඇදුම් ගන්න. වියදම් ගොඩයි. අහන අහන ගොඩක් අය කියන්නේ අපි චාරිත්‍ර කරා විතරයි කෑම මුකුත් විශේෂයෙන් හැදුවේ නෑ කියලා. පුංචි දවස් වල කෑම පිගන් අරන් ගෙවල් වලට යන්න හරිම ආසයි. ඒත් අද ඒක වදයක් වෙලා. එක ගේකින් ගේන කෑම පිගාන තව ගේකට යවනවා. පිගන් මාරු වෙනවා. අපේ කෑම එකම ආපහු අපිටම එනවා. කාටවත් ඒකෙ ගානකුත් නෑ. හැමෝම කරන්නේ එකම දේනෙ. අවුරුද්ද කියන්නේ තවත් සාමාන්‍ය දවසක් විතරක් වෙලා. අපේ පරණ චාරත්‍ර වාරත්‍ර රූපවාහිනියට විතරක් සීමා වෙලා.  
තවත් කාලයක් යනකොට මෙහෙමවත් නැතිවේවි. 

ඔය අනම් මනම් හිතලා අවුරුද්ද පටන් ගන්නකොට මූඩ් ගහන්නෙ නැතුව මම වගේ කාලා බීලා සන්තොසෙන් ඉන්න..

ආපහු පාරක් 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 

වවුල්පනේ හුණුගල් ගහාව (Waulpane Lime Cave) ගවේශණ චාරිකාව.

      වවුලන්ගෙන් පිරුණු ගුහාවක මුව විටේ කූඩාරම් ගසා ගෙන රැයක් ගතකිරීම ගැන අත්දැකීම් අපට ඇත්තේය. ඒ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබෙන වෙඩිලුණු ගුහාව නැරඹීමට ගිය චාරිකාවේදිය. වවුල්පනේ හුණුගල් ගුහාව නැරඹීමට යාමේ චාරිකාවට අඩිතාලම වැටුනේද එම චාරිකාවේදීමය.

        ගමන සංවිධානය කරන අවස්ථාවේදී 8 දෙනෙකු පමණ සහභාගී වන බව පැවසුවත් අවසානයේ චාරිකාවට සහභාගි වූයේ සය දෙනෙකු පමණය.  ගමන ආරම්භ වන්නේ මහරගම මාතර කඩය අසලිනි. උදෑසන 4.15ට කොළඹින් පිටත් වන මාර්ග අංක 122 ඇඹිලිපිටිය බසය මහරගමට පැමිනෙන විට 4.45 පමණ වන්නට ඇත. ඒ බසයට ගොඩවුනු අපිට කෙටි දුරකදී වාඩි වීමට ආසන ලැබුනේය. වේගයෙන් ගමන් කල බස් රථය තුංතොට මංසන්ධියට පැමිනෙන විට උදෑසන 8.15 පමණ වන්නට ඇත.

                 මෙතැන් සිට වවුල්පන හුණු ගල් ගුහාව දක්වා කිලෝ මීටර් 13 පමණ දුරක් ගමන් කිරිමට ඇත. මුල් කිලෝ මීටර් 10 සදහා බස් රථයක් ධාවනය වන නමුත් අප ගමන් ගන්නේ පොහොය දිනයක නිසා බස් රථ ධාවනය පවතින්නේ අවම මට්ටමක බව අසල වූ කඩයකින් විමසීමේදී දැනගන්නට ලැබුනේය. බසයක් එනතුරු බලා සිටීම කාලය කා දැමීමක් වන නිසාවෙන් අපි  පා ගමනින් යාමට තීරණය කලෙමු. කිලෝ මිටර් 2ක පමණ දුරක් පයින් ගමන් කල අපිට ඒ මාර්ගයේ ගමන් කල ලොරියක් නවත්වා ගැනීමට හැකියාවක් ලැබුනේය. ලොරියේ සුලු දුරක් ගමන් කරන විටය අපිට කල ගොන් කමක මහත තේරුනේ. අලුත්වැඩියා කරමින් පවතින දුශ්කර මාර්ගයක ලොරි රථයේ රියදුරා හැටට හැටේ පාගන්නට වූයේය. අප අමාරුවෙන් පිටුපස එල්ලී ගෙන සිටියෙමු. විනඩි 15කින් පමණ අපට වවුල්පනේ සංවර්ධන මාවත අසලින් බැස ගැනීමට හැකි වුනේය.

             එතැන් සිට වවුල්පනේ ගුහාව දක්වා කිලෝමීටර් 3ක දුර යා යුත්තේ පා ගමනින්ය. කොන්ක්‍රීට් දමා සකස් කරන ලද මාර්ගයක් වුවත්  ෆෝ වීල් වාහන හැර අනෙක් වාහන ඒ මාර්ගයේ ගමන් කිරිම අතිශය දුශ්කර වනු ඇත. කිලෝ මීටර් 3ක් වූ සමස්ථ දුරෙන් කිලෝ මීටර් 2.5 පමණම ඇත්තේ දල බෑවුමක්ය. තැනින් තැන වවුල්පන හුණුගල් ගුහාවට පාර කියන නාම පුවරු දක්නට තිබුනේය. අවසාන මීටර් 500ය පමන යාමට ඇත්තේ අඩි පාරක්ය. ඒ අවට පරිසරය අතිශයින් සුන්දරය. වවුල්පනේ හුණුගල් ගුහා එතරම්ම සංචාරක ආකර්ෂණය දිනාගෙන නැති නිසාදෝ සුන්දර පරිසරය අසුන්දර කරවන කුණු ගොඩවල් නම් දක්නට නැත. නමුත් ඉදහිට තැනක දෙකක පොලිතින් කවර නොතිබුනාම නොවේ. අඩි පාර දිගේ ගමන් කල අපිට පාර දෙකට බෙදෙන ස්ථානයකදී යා යුතු දිශාව තීරණය කරගත නොහැකි වූයේය. දිනුක විසින්  නිවැරදි මාර්ගය සොයා ගැනීමේ වගකීම රුපියල් දෙකේ කාසියකට පැවරූ අතර, කාසිය පෙන්වූ දිශාව නිවැරදි නොවන බව අපි විසින් සොයා ගන්නා ලදී. හිරු රැස් බිමට නොවැටෙන තරම් ගන වූ තුරු වියනක් යටින් සොඳුරු වටපිටාවක සිරි නරඹමින්  ගමන් කිරීම එතරම් අමාරු කාර්යයක් නොවන නිසා හොඳය, පොඩි වටයක් ගැසූ අපි   නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණ වුයෙමු. තවත් මීටර් 200 පමණ ගමන් කිරිමෙන් පසුව අඩිපාරේ වම් පසට වෙන්නට පහලට බැසිම පහසු කරවන්නට බැද ඇති පඩිපේලියක් තිබූ අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් හුණුගල් ගුහාව නැරඹුම් වේදිකාව මතට පැමිනිමට හැකිවිය.


              වේදිකාව මතට පැමිණි විට ගුණුගල් ගුහාවේ මුවවිට හොදින් දර්ශනය වූයේය.

 හනි හනිකට සූදානම් වූ අපි, බෑග් මලුද කරගසාගෙන  විදුලි පන්දම් සූදානම් කරගෙන ගුහාවේ ඉදිරිපස පිවිසුම් දොරටුව වෙත ගමන් කලෙමු.
       
 ගුහාවට ඇතුල් වීම තරමක් දුශ්කර වූයේය. ඇතුල් වන මාර්ගය හරහා ගලා ගිය හල්විනි  ඔය නිසාවෙන් ගුහා මුවවිටේ තිබූ ගල් ලිස්සන සුලු වූ අතර ඒ මත වැටි තිබූ වවුල් වසුරු ඒම ලිස්සන සුලු බව දෙගුණ තෙගුණ කලේය.

      ලිස්සන සුලු බව නිසාම අප ගමන් කලේ පාවහන් රහිතවය. මුලින් මුලින් අපි එම වවුල් වසුරු වලින් වැසි තිබූ ගල් ඇල්ලීමට මැලි කමක් දැක්වූවත්, පසුව එසේ නොකර බැරි තත්වයක් ඇති වූයේය. සමහර තැන් වල අඟල් තුනක් හෝ හතරක් පමණ ගනකමට වවුල් වසුරු තට්ටුවක් තිබුනේය. දැන දැන වුවත් අපට එවැනි ස්ථානයන් වලද ගමන් කිරිමට සිදු වූයේය.  පයට පැගේදිද් පයේ ඇඟිලි කරු අතරින් චිරිස් හඩක් නගිමින් වවුල් වසුරු මතු වන්නේය. දෙපස හුණුගල් බිත්ති මත දහස් ගනනකගෙන් සැදුම් ලත් කැරපොත්තන්ය.

 හිසට ඉහලින් පියාඹන්නේ වවුලන්ය. (වවුප්පනේ මිලියනයකට අධික වවුලන් ප්‍රමාණයක් වාසය කරතැයි සැලකේ) ගුහාවේ වහලයෙන් සිහින් දිය බිඳු වෑස්සෙයි. දිය බිඳු අතරටම මුසුව වැටෙන වවුල් වසුරුද නිමක් නැත.

              ගුහාව තුලට මද දුරක් ගමන් කල විටය අභ්‍යන්තර දිය ඇල්ල හමු වන්නේ. අඩි 60ක් පමණ උස වූ එම දිය ඇල්ල අලංකාර දර්ශනයක් මවා පාන්නේය. (ආසියාවේ දෙවන උසම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල ලෙස සැලකේ)

          දිය ඇල්ල පසු කර මදක් දුර ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් පස පිහිටි දොරටුවෙන් පිටතට පැමිනිමට හැකියාව ලැබෙන්නේය. නමුත් ඒ සදහා වවුල් වසුරු පිරුනු ජල තටාකයක අඩි 4ක් හෝ 5ක පමණ ගැඹුරේ බැස ගමන් කිරිමට සිදුවන්නේය.

 නෙතෙමෙන පිනිස බෑග් මලු කරේ තබාගෙන අපි ඒ වවුල් වසුරු මුසුවූ ජලයේ ගමන් කලෙමු.  දියට බැසගත් පසු පිටවිමේ දොරටුව දර්ශනය වෙයි.

එයත් පහසු ගමනක් නෙවේ.  පිටවිමට නම් ජලයේ දනගාමින් ගමන් කල යුතුය.

  නැවතත් හිරු එළියට පැමිනිමෙන් පසුවය අපට අපේ තත්වය වැටහුනේ. ඇඳුම් වල, බෑග් වල මෙන්ම විදුලි පන්දම් වලද වවුල් වසුරු ගෑවී තිබුනේය. මැක්කන්ද සිටියේය. ජලයේ බැස ගමන් නොකලානම් තවත් මැක්කන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ලැබෙන්නට ඉඩ තිබුනේය.

       අවට පරිසරය රූස්ස ගසින් පිරුන වැසි වනාන්තරයක සිරියක් ගත්තේය. නම් නොදන්නා මුත් සමහර වෘක්ෂයන් අඩි 100කටත් වඩා උස වුයේය.

     අපගේ ගමන් මග වැටී තිබුනේ අප තරණය කල හුණුගල් ගුහාවේ වහලය මතිනි. හුණුගල් ගුහාව ගවේශනයෙන් පසු අප මේ යන්නේ කිවුල් දිය උල්පත සොයාය.   උල්පත සොයා යන අපිට මුලින්ම හමු වූයේ පීල්ලකි.

කිවුල් දිය නෑමට පහසු වනු පිනිස සකස් කර ඇති මේ පීල්ල සකසන්නට ඇත්තේ මේ කිවුල්  ජලයට සමේ රෝග සුව කිරීමේ හැකියාවත් ඇතැයි සැලකෙන නිසා වන්නට ඇත. පීල්ල ට තරමක් ඉහලින් කිවුල්දිය උල්පතත්.

 තරමක් පහලින් කිවුල් ජලය හුණුගල් ගුහාවට ඇතුල්වන ස්ථානයත් දක්නට පිළිවන.

 ඒ ඇතුල් වන ජලයෙන්ය සුන්දර වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය වන්නේ.

කිවුල් දිය නෑමෙන් පසු අප නැවතත් ගමන් ආරම්භ කලේ යෝධයා කැපූ වල නමින් හදුන් වන ජල තටාකයක් සොයාය.   හුණුගලු ගුහාව සොයා ආ මාර්ගයේ ආපස්සට ගමන් කිරීමෙන් එම ස්ථානය සොයා ගැනීමට හැක. අඩි පාරෙන් තවත් අතුරු පාරකට හැරී වනය තුල සුලු දුරක් ගමන් කිරීමෙන් පසුවය අපට යෝධයා කැපූ වල හමුවූයේ.  හල්විනි ඔයේම එක්තරා ස්ථානයක අඩි 10ක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර වලක්ය මේ නමින් හැදින්වෙන්නේ.

මිනිස් අතකින් සැදුවක් තරම්ම අපූර්ව වූ නිර්මානයක්  නිසාවෙන්ම ගම්වාසීන් මේ ස්ථානය යෝධයා කැපූ වල නමින් හදුන්වන්නට ඇත.

අප දෙවන වරටත් මේ ස්ථානයෙන් දිය නෑවෙමු.

වවුල්පනේ සංවර්ධන මාවත දිගේ කිලෝ මිටර් 3ක පමණ දුර පා ගමනින්ද, එතැන් සිට මාර්ගයේ ගමන් කල ලොරි රථවල පිහිටෙන් හා දෙපයේ පිහිටෙන් පල්ලේබැද්ද තුන්තොට මංසන්ධියටද, එතැන් සිට බස් රථයකින් මහරගමටද පැමිනීමෙන් චාරකාව නිමා විය.

බ්ලොග් අඩවියේ නිල ඡායාරූප ශිල්පී චින්තාගේ ඡායාරූප ඇල්බමය.
ඉන්දුගේ ඡායාරූප ඇල්බමය.
දිනුකගේ ඡායාරූප ඇල්බමය.

ගමනට මග පෙන්වූ බ්ලොග් අඩවි

නඩේ ගුරා 
අපේ පරිසරය
ලක්දසුන්  (The Caving Expedition – Waulpane )
                (Investigating the Waulpane (Wawulpane) Lime stone cave)
                ( 3 Day Trip to Waulpane ,Pitadeniya Conservation Center via Sinharaja (වන නිවහන)

          





මඟුල් පෝරුවට පෙර - යහන්ගතවූ පවට


රඟහලේ අඩ අදුරෙ -සැදෑවේ වෙරළ  ඉම 
තුරුලු වී ආදරෙන් 
විඳි ප්‍රේමයේ උණුසුම 
මදි උනා සනසන්න අපේ පෙම් පිපාසය

මඟුල් පෝරුවට පෙර  
යහන්ගතවූ පවට 
වැරදි කාරියක් මම 
බෑ කිව්වෙ නැති නිසා  රූම් යමු කිව්වහම

ඔබේ දරු පැටියෙක්ව
තුරුල් කර නලවන්න
මවපු ඒ හීන ලොව
නොහිතපු විදිහකට - හැබැ වෙන්න යන බව
දැනගත්ත ගමන් ඔබ
වෙනස්  උන වේගය
හිතා ගන්නවත් බෑ -  මම තනි වෙලා බව

නෑ තනි වෙලා මම
අම්ම ඇත මගෙ ලගම
කේන්තියෙන් බැන්නාට - කම්මුලට ගැහැව්වට 
බර නැතිලු ගහේ ගෙඩි - ගෙඩි හදපු ඒ ගහට 

ඒත්

දරන්නට බෑ මට 
මම උපද්දන ඵලයේ බර 



    






කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..


එක් සමයෙක්හි බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි....

          නෑ නෑ එහෙම නෙමෙයි..  එකමත් එක රටක රජෙක් හිටියා. රජෙක් කිව්වට හැම රජාම හොද නෑනෙ. ඔය අපිටත්  ඉන්නෙ දෙන්නෙක්ම.  බ්ලොග් ලෝකෙට එකයි. ලංකාවෙ  එකයි.  බ්ලොග් රජාත් ඉතින් අන්තපුරේ බලාගෙන ඉන්නවා විතරනේ. අනිත් රජා ගැන නම් මම දන්නෙ නෑ. 

     ඒවා මෙව්වා වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ එකෝමත් එක කාලෙක හිටපු රජෙක් ගැන. අර චන්දන කියනවා වගේ මේ රජත් කවි කියන්න බොහොම කැමතියි. කැමැත්ත තිබ්බට විතරක් මදිනේ. හැකියාවත් ඕනෙනෙ. රජත් බැරි බැරි ගාතේ ඉදලා හිටලා පද හතරක් ගලපලා කියනවා. අහන් ඉන්න අයට ඉතින් කරවිලයි කොහොඹයි එකට අඹරලා අතුරුපසට  කනවා වගේ. එත් ඉතින් රජාගේ කවියනේ අමාරුවෙන් අහගෙන ඉදලා.. වන් මෝ වන් මෝ කියලා කෑ ගහනවා. නැත්තං ඉතින් බෙල්ලනෙ යන්නෙ. 

    රජාගේ කවි කියවිල්ල වගේම තමයි රාජ්‍ය පාලනේත්. ඉතින් කාලයක් යනකොට ඇමති මණ්ඩලයටත් රජාගේ කවි කියවිල්ල වගේම රජාවත් තිත්තම වෙලා ගියා. තිත්ත උනා කියලා දෝසාබියෝගයක් ගේන්නයි කියලද. ඇමතිලා සතරකන්, අටකන් මන්ත්‍රන තියලා පැලෑනක් ගැහුවා රජාව මරවන්න කියලා. ඔය ලොකු ලොක්කෝ පැලෑන් ගැහුවට ඔව්වා කිරියාත්මක කරන්න වෙන්නේ ඉතින් සොක්කන්ටනේ. මෙදා පාරත් එහෙම්මමයි. රජාව මරන වැඩේ බාර දුන්නෙ කරණවෑමියට,  අර කොන්ඩෙ කපන්නේ. රාජකීය කොන්ඩේ කපන ගමන් රාජකීය බෙල්ලට දැලිපිහිය තියලා අදින්නය කියලා තමයි උපදෙස් ලැබුනේ. මොන උපදෙස ලැබුනත් කරණවෑමියා වෘත්තීය කොන්ඩෙ කපන්නා මිස බෙලි කපන්නා නෙමෙයිනේ. තමන්ගේ බෙල්ල බේරා ගන්න ඔනෙ නිසා බයෙන් බයෙන් තමයි වැඩේට අත ගැහුවේ.

   ඔන්න ඉතින් රජත් පාන්දරම අවදි වෙලා සිරියහන් ගබඩාවට වෙලා බලන් ඉන්නවා දවසේ වැඩ පටන් ගන්න කලින් රැවුල එහෙම කපාගෙන පිලිවෙලක් වෙන්නය කියලා. වෙනදා පාන්දරම රැවුල කපන්න ගියාට අද කරණවෑමියාට අඩියක් උස්සා තියා ගන්නත් බැර තරමට බය. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. රජත් කම්මැලි කමට ගිහින් සිරියහන් ගබඩාවේ කවුලුවෙන් රාජකීය උයන දිහා බලනවා. අප්පුච්චියේ පාන්දරම ගාලෙන් පැනලා ආපු තඩි මී හරකෙක් රාජකීය උයනේ රාජකීය ගලක අගක් අතුල්ලනවා. මේක දැක්කම රජාට කවි සිතුවිල්ලක් පහලවෙච්චි. උඟුරේ  රැල් බුරුල් එහෙම ඇරපු රජතුමා හොද සද්දෙට කවියක් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

කවියක් කියන්න කට ඇරියට දෙවනි පදේ ගලපගන්න රජාට බෑ. ටික වෙලාවක් කල්පනා කරපු රජා දෙවෙනි පදෙත් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

ඔන්න එතකොටම කරණවෑමියාත් රජතුමා කිට්ටුවට එනවා රැවුල කපන්නය කියලා.  රැවුල කපන්න කලින් දැලි පිහිය මුවහත් තියන්න එපැයි. කරණවෑමියා ඒ කාරිය කරණ කන් රජතුමා තුන්වෙනි පදෙත් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

මේක ඇහිච්චච කරණවෑමියට මල මුත්තර පිට නොවුනා විතරයි. රජතුමා හතරවෙනි පදයත් කියලා රාජකීය ලීලාවෙන් කවිය අහවර කරනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

        වෙන්න යන සන්තෑසිය ඔක්කොම රජතුමා දන්නවයි කියලා හිතපු  කරණවෑමියා රජතුමාගේ දෙපා මුල වැද වැටිලා සමාව ඉල්ලා තමන් කොරන්න ගිය කාරියත් කොරන්න කියපු ඈයොත් ඔක්කොම වක්කඩ කැඩුවා වගේ කියනවා. රජත් අන්දුන් කුන්දුන් වෙලා. කොහොමින් කොහොම හරි රාජකිය කුමන්ත්‍රණයක් අහුවුනානේ. 

      රජතුමා කරණවෑමියාට නං සමාව දුන්නා කියලයි ආරංචිය. ඇමති මණඩලේට නං මොනවා උනාද දන්නෙ නෑ. අර මී හරකටනං රාජකීය හරක් ගාලේ නායක මී හරකා විදිහට උසස් වීමක් ලැබුනලු.

ප:ලි.
සිව්දෙස හෝ මුතුහර සගරාවක පලවූ ලිපියක් කියවූ මතකයෙන් ලියුවෙමි. චන්දනගේ එකල රජවරුද  කවි කීහ පොස්ටුව කියවීමෙන් මතකයට නැගුනකි.   ඡායාරූපය අන්තර්ජාලයෙනි.

කෝඩු කාරයාගේ අඳෝනාව

                  තාම කකුල් දෙකත් රිදෙනවා. ඒත් මේක කියන්න ඔනේ. උන් සීනියර්, අපි ජූනියර්. කරුමෙට හරි මේක සීනියර් එකෙක් දැක්කොත් මම ඉදලා  ඉවරයි. බයවෙලා හැමදාම කට වහගෙන ඉන්නත් බෑ.  වෙන එකෙක් මේ කට්ට නොකන්න මම මේ ටික කියන්නම ඕනෙ.
        මහරගමින් බස් එකට නැංග වෙලාවේ තමයි මට මීටර් උනේ සෙට් එකෙන්ම ජූනියර්ම එකා මමයි කියලා.  මම දැන ගත්තා මට කැටේ සෙට් වෙනවා කියලා. කොටුවේ ස්ටේෂන් එකේ කොච්චියට ටිකට් ගන්න පෝලිමට ඉන්න් උනෙත් මට. ඒකත් වැරදි පෝලිමක. කෝච්චියේ යන කොට සීනියර්ලා දොරේ, අපි ඇතුලේ. දොරේ යන්න බැරි තරම් සීතල වැඩි උනාම ඇතුලට ආපු සීනියර් එවුන් අපිව බයිට් කරන්න තියා ගත්තා. අපි කිව්වට වැඩියෙන්ම මාව. මහ ලොකුවට අර පදක්කම මේ පදක්කම ගහපු, කෑම්ප් බර ගානකට ගිය, ගිනි මැල සංදර්ශණ මෙහෙයවන උන්ට සිංදු කියන්න බෑ, කෑම්ප් දෙක තුනක් ගිය මමම ඒක කරන්නත් ඔනේ. අපරාදේ කියන්න බෑ. අමාරුවෙන් සිංදුවක් පටන් ගත්තම ඇදන් යන්න නං කට්ටිය හිටියා. 
        කෝච්චියෙන් බැහැලා නැගපු බස් එකේ හිටගෙන ගිය නිසා ඒ බස් එකේදි  ප්‍රශ්නයක් උනෙත්  නෑ. බැස්සට පස්සෙත් හැමොගෙම පිටේ වගේ බෑග් තිබුන නිසා වැඩිපුර බර ගෙනියන්න  සෙට් උනෙත් නෑ. ඒ උනත් හිත් පිත් නැති අමන සීනියර්ලා මාව පාන්දර හතරට විතර පට්ට සීතලේ සීත ගඟුලට බස්සවල නෑව්වා. අනිත් උන් ඔක්කොම යන්තං මූන විතරක් තෙමා ගනිද්දී මම විතරක් ගැහි ගැහී නෑවා. ටිකක් සෙනග හිටපු නිසාද මන්දා ඊට පස්සෙ උඩ මලුවට නගින කම්ම ලොකු කරදරයක් උනේ නෑ.  සිරි පතුල වැදලා අවසන් උනාට පස්සේ උඩ මලුවේ තියෙන විශ්‍රාම ශාලාවට ගියා කෑම කන්න. පට්ට සීතල වතුරෙන් පිගන් හෝදන්න උනෙත් මට. පිගන් හෝදගෙන ආවට පස්සේ බෝතල් වලට වතුර පුරවන්න උනෙත් මට. කාල ඉවර උනාට පස්සේ කාපු තැන අස් කරලා අතුගාන්න උනෙත් මට.
      මම වැඩ කරන දිහා බලාගෙන ඉදලා සීනියර් එකෙක් කියනවා  හොද වෙලාවට අපි ජූනියර් කාලේ මෙහෙම ගමන් ගියේ නැත්තේ කියලා.  උන්ට තේරෙනවා මම මේ අමු කට්ටක් කන්නෙ කියලා. ඒත් උන්ට ගානක් නෑ. හොදම හරිය පටන් ගත්තේ පහලට බහින්න පටන් ගත්තට පස්සේ. සීනියර් උන්ගේ වැඩේම ෆොටෝ ගහන එක. අඩි දහයක් යනවා ෆොටෝ ගහනවා,  ගහක් දැක්කත්  මලක් දැක්කත් බෙට්ටක් දැක්කත් නැවතිලා ෆොටෝ ගහනවා  ඊට පස්සේ පරක්කු වෙනවා කියලා අපිව කන්න හදනවා. රත්නපුරා පාරෙන් පල්ලං බැහැගෙන එනකොට හම්බ උනා ඇහැළ කණුව කියලා එකක්. 

ඒයි කෝඩු කාරයා වැදපන් මේකට.
හොදට දණ ගහලා වැදපන්.

       චුටුස් චුටුස් ගාලා ෆොටෝ දෙකතුනක් ගන්නවා දැකපු නිසාම මේකත් මාව මඩවන්නම කරන වැඩක් කියලා තේරුණා. ඒත් මොනවා කරන්නද. උන් සීනියර් මම ජුනියර්. 
       ඇහැළ කණුවෙන් පටන් ගත්ත වැදිල්ල නැවතුනේ එරත්නටම ආවට පස්සේ. මග දිගට තිබුන සේරම බුදු පිළිම, දේවාළ, ලොකු ලොකු ගස්, නාපු තැන තිබුන ලොකු ගල් ගෙඩියට පවා මම වැන්දා. ඒක කමක් නෑ කියමුකෝ. ඒච්චර කරලත් නානකොට යන්තං දනිස්ස තෙමෙන හරියට වඩා අඟලක්වත් ගැඹුරට යන්න දුන්නෙ නෑ. උන් නං දිය බුං ගගහා නෑව. උන් දියඹේ පීනනවා, අපි ගොඩ පීනනවා. නෑවට පස්සේ කාපු තෙල් රොටියනං අවුලක් නෑ. ඒත් සීනියර් උන්, රොටිය කන්න දීපු කටේ තියන්න බැරි තරම් සැර ලුණු මිරිස, මහා රසයි කියාගෙන හෙන ගොඩක්  කාලා හාස් හූස් ගාද්දි වතුර අදින්න උනෙත් මට. 

        සැර වැඩි කමට උන් ප්ලේනටි දෙක දෙක බොනකොට මටත් ප්ලේන්ටි දෙකක් නං හම්බ උනා. එරත්නට ආපු ගමන්  ආපහු සැරයක් මාව නෑව්වා. උන් මූණ හේදුවා. ඊට පස්සේ හැම එකාටම මාව සිරීපාදේ එක්කගෙන ගියාට ස්තුති කරන්නත් උනා. ඒකලු චාරිත්තරේ.  අනේ උනුයි මායි දන්න චාරිත්තර. උන්ගේ හිතේ උන් මාව බයිට් එකට ගන්න කරන ඒවා මට තේරෙන්නෙ නෑ කියලා.  උන් හිතන්න ඇති මම මාට්ටු උනා කියලා. උන් සීනියර් නිසා මම කට වහගෙන හිටියා. මට තව බැජ් දෙක තුනක් ගහගන්න ඔනෙනෙ. ඔව්, මම හිතා ගත්තා, හිටපල්ලකෝ මමත් සීනියර් උන කාලෙක කෝඩුකාරයෙක් වන්දවන්නම්කො සිරී පාදේ. 
ප:ලි
   සති අන්තයේ බාලදක්ෂයන් කිහිප දෙනෙකු සමග සිරිපා කරුණා කලෙමු. කෝඩු කාරයෙක් සිරිපා වැන්දවූවෙමු..
ප:ප:ලි
ඌට මෙහෙම හිතෙන්න ඇති.

සඳ නොබලන් සෙනසුරාදා.

               
        මැණිකා හරි හැඩකාර කෙල්ල. ගේ දොර වැඩටත් බොහොම දස්සයි. හීන් සංදියේ ඉදන්ම එකට දුවල පැනලා නටපු පුංචා එක්ක මැණිකාගේ සම්බන්ධයක් තිබුනා. පුංචි සන්ධියේ ඉදං දැන හදුනනවා උනත් මැණිකාගේ අම්මයි අපුච්චයි පුංචගෙයි මැණිකගෙයි සම්බන්දෙට කැමති උනේ නෑ.  මැණිකගේ අම්මටයි අපුච්චටයි  ඔන උනේ වතුපිටි හරකා බාන එහෙම හොදට තියෙන හොද නම්බුකාර තැනකට මැණිකාව දීග දෙන්න. දහිරියවන්ත කොලුව උනාට මැණිකගේ අපුච්චගේ හිත දිනා ගන්න එක නං කොරන්න පුංචට බැරි උනා.

          ඔයින් මෙයින් අන්තිමට මැණිකව අල්ලපු ගමේ හිටිය හොදට වත් පොහොසත් කම් තියෙන නාඔර ඉලන්දාරියෙක් කැන්දගෙන ගියා. දීග ගියාට මොකද මැණිකගේ හිත තාමත් පුංචා ගැනමයි. ඒ උනාට මැණිකව දීග ගත්තු රංහාමි  නං මැණිකට පණ ඇරලා ආදරෙයි.  පුංචා ගැන වගක් වත් රංහාමි දන්නේ නෑ. රංහාමිත් කැත්තේ උදැල්ලේ වැඩට බොහොම දස්ස කම්මැලි කමක් නැති යස ඉලන්දාරියා. මැණීකා ගේ පිනටදෝ රංහාමිගේ කුඹුර බොහොම සාරෙට වැඩුනා.  තව ටික දොහකින් ගෙයි අටු කොටු පුරවන්න පුලුවන් නේද කියල රංහාමි බොහොම කඩිසරව කුඹුරට සාත්තු සප්පායම් කරා.  දවල් වරුවට වී කරල් කන්න එන කුරුල්ලෝ එලවන්න මැණිකත් උදවු උනා. ඒ ලැබෙන ඉස්පාසුවකට තමයි රංහාමි ඩිංගක් ඇහැ පියා ගන්නේ. ඇයි ඉතිං රාත්තිරියට වල් සත්තුන්ගෙන් කුඹුර බලා ගන්න ඒපාය. සද්දන්ත අලි රංචුවක් ගම වටේ කරකැවෙනවය කියලා රාවයකුත් ගමේ පැතිරිලා තිබුනා. අලියෙක් දෙන්නෙක් කුඹුරට බැස්සොත් ඉතින් කාලාන්තරයක් වෙච්ච මහන්සියෙන් වැඩක් නෑ නෙව.  

              ඔය හේතු කාරනා නිසා දැන් දවස් ගානක ඉදලා රාත්තිරියට ගෙදර මැණිකා විතරයි. ඔය කාරණාව කොහෙන්දෝ ආරන්චි කරගත්ත පුංචත්, රංහාමි කුඹුරට යන අල්ලපනල්ලේ මැණිකගේ ගෙට රිංගන්න තියා ගත්තා. රංහාමි තමන්ට කොච්චර හොදට සැලකුවත් මැණිකට කොච්චරවත් පුංචව මතක් වෙනවා.  ඉතිං පුංචව දැක්කම  මැණිකටත් ඉහේ මලක් පිපුනා වගේ.  දවස් ගානක් තිස්සෙම මේ විදිහට පුංචා ,රංහාමි කුඹුරට යනකං ඉදලා මැණිකාගේ පැළට රිංගනවා. මැණිකත් බොහොම කැමැත්තෙන් පුංචට ආදරසත්කාර කරනවා. මැණිකා දීග යන්න කලින් තිබුන තහංචි දැන් නෑනේ. ඉතින් ඔය ආපු කීප දොහේම වගේ පුංචට මැණිකගේ පැදුරත් පෑගුනා. 

             එදා  ඉතිං පුර හඳ බොහෝම සාරෙට පායලා තිබුන දවසක්, පුංචත් හොරෙන් හොරෙන් මැණිකගේ ගේ මානෙට කිට්ටු කරලා බලන් ඉන්නවා රංහාමි යනකං. පුංචා හැංගිලා බලන් උන්නේ රංහාමිගේ හරක් මඩුව පිටි පස්සේ. එදා රංහාමි කුඹුරට යන්න ටිකක් විතර සුනංගු උනා. පුංචත් මදුරුවෝ තල තල බලං හිටියා. පුංචට දැන් හොදටම තෙහෙට්ටුයි. හරක් මඩුවේ ගදයි, ගොම්මනේ මදුරුවෝ කාලයි, ඒ මදිවට මැණිකාගෙ පැදුර පාගන්න තියෙන හදිස්සියයි සේරම එක්කාසු වෙලා පුංචා ඉවසුම් නැතුව හිටියේ. ඔන්න යාන්තං රංහාමි ගියා කියලා මැණිකා සංඥාවක් දුන්නා. කළබල වෙච්ච පාර පුංචට උන්හිටි තැනුත් අමතක උනා. දඩිබිඩියේ ගෙට රිංගන්න දගලපු දැගලිල්ලට දබොක් ගාල ඇදගෙන වැටිච්චි. ඒ සද්දෙට මැණිකත් දුවගෙන ආපි. අනේ බැලින්නං පුංචා ඇදගෙන වැටිලා තියෙන්නේ අලි ගොම තැබ්බක් උඩට. පුංචගේ වස්තරෙන් ගන්න දෙයක් නෑ. මැණිකත් පුංචට මාරු කරගන්න සරමක් දීලා ගොම ගෑවිච්ච සරම  ගේ පිටිපස්සේ කැන්ද ගහේ අත්තක එල්ලුවා. 

         ඔන්න එතකොටම මිදුල දිහාවෙන් සද්දයක් ආවා. රංහාමි ගෙදර ඇවිත්. හත්වලාමයි පුංචට දෙයියෝ බුදුන් සිහිඋනා. ඌ විගහට කැලේ පැනපි.  මැණිකත් මුකුත් නොදන්නවා වගේ ඉස්සරහට ගිහින් රංහාමිව පිළිගත්තා. රංහාමි අමතක වෙච්ච මොකක්දෝ අරගෙන ආපහු කුඹුරට යන්න එලියට බැස්සා. මිදුලට වැටිල තියෙන හඳ එළිය දැක්ක රංහාමි, මැණිකෙටත් කතා කරා හඳ බලන්න. ඔන්න එතකොට තමයි මැණිකෙට දෙයියෝ බුදුන් සිහි උනේ. හඳ පායලා තියෙන්නේ පිළිකන්නේ තියෙන කැන්ද ගහට උඩින්. රංහාමි හඳ බලන්න පිළිකන්නට ගියොත් කැන්ද ගහේ වනලා තියෙන පුංචගේ ගොම සරම පේනව. ගෑනුන්ගේ මොලේ හැදි මිටේ දිගය කිව්වට මේ වගේ වෙලාවල් වලට ඒක හබලකටත් වඩා දික් වෙනවා.  එදා සෙනසුරාදා  දවසක්. විගහට රංහාමි ගාවට ගිය මැණිකා බොහොම ලස්සනට තාලයට ඇදලා පැදලා කවියක් කිව්වා.

දුක දුරු බදාදා
සඳ නොබලන් සෙනසුරාදා
දුටොත් සඳ ඉරිදා
ඊට පසුදා වේය නිරිඳා

අනේ ඉතින් කවිය අහපු රංහාමිත් එහෙනං හෙටම හඳ බලනවා කියලා කුඹුරට යන්න පිටත් උනා.

ප:ලි. 

කලකට පෙර  සිව්දෙස හෝ මුතුහර  සගරාවක පලවී තිබූ ලිපියක් කියවූ මතකයෙන් ලිව්වෙමි. සගරාව සොයා ගැනීමට නොහැකි විය.