එක් සමයෙක්හි බ්රහ්මදත්ත නම් රජෙක් රාජ්ය කරන කල්හි....
නෑ නෑ එහෙම නෙමෙයි.. එකමත් එක රටක රජෙක් හිටියා. රජෙක් කිව්වට හැම රජාම හොද නෑනෙ. ඔය අපිටත් ඉන්නෙ දෙන්නෙක්ම. බ්ලොග් ලෝකෙට එකයි. ලංකාවෙ එකයි. බ්ලොග් රජාත් ඉතින් අන්තපුරේ බලාගෙන ඉන්නවා විතරනේ. අනිත් රජා ගැන නම් මම දන්නෙ නෑ.
ඒවා මෙව්වා වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ එකෝමත් එක කාලෙක හිටපු රජෙක් ගැන. අර චන්දන කියනවා වගේ මේ රජත් කවි කියන්න බොහොම කැමතියි. කැමැත්ත තිබ්බට විතරක් මදිනේ. හැකියාවත් ඕනෙනෙ. රජත් බැරි බැරි ගාතේ ඉදලා හිටලා පද හතරක් ගලපලා කියනවා. අහන් ඉන්න අයට ඉතින් කරවිලයි කොහොඹයි එකට අඹරලා අතුරුපසට කනවා වගේ. එත් ඉතින් රජාගේ කවියනේ අමාරුවෙන් අහගෙන ඉදලා.. වන් මෝ වන් මෝ කියලා කෑ ගහනවා. නැත්තං ඉතින් බෙල්ලනෙ යන්නෙ.
රජාගේ කවි කියවිල්ල වගේම තමයි රාජ්ය පාලනේත්. ඉතින් කාලයක් යනකොට ඇමති මණ්ඩලයටත් රජාගේ කවි කියවිල්ල වගේම රජාවත් තිත්තම වෙලා ගියා. තිත්ත උනා කියලා දෝසාබියෝගයක් ගේන්නයි කියලද. ඇමතිලා සතරකන්, අටකන් මන්ත්රන තියලා පැලෑනක් ගැහුවා රජාව මරවන්න කියලා. ඔය ලොකු ලොක්කෝ පැලෑන් ගැහුවට ඔව්වා කිරියාත්මක කරන්න වෙන්නේ ඉතින් සොක්කන්ටනේ. මෙදා පාරත් එහෙම්මමයි. රජාව මරන වැඩේ බාර දුන්නෙ කරණවෑමියට, අර කොන්ඩෙ කපන්නේ. රාජකීය කොන්ඩේ කපන ගමන් රාජකීය බෙල්ලට දැලිපිහිය තියලා අදින්නය කියලා තමයි උපදෙස් ලැබුනේ. මොන උපදෙස ලැබුනත් කරණවෑමියා වෘත්තීය කොන්ඩෙ කපන්නා මිස බෙලි කපන්නා නෙමෙයිනේ. තමන්ගේ බෙල්ල බේරා ගන්න ඔනෙ නිසා බයෙන් බයෙන් තමයි වැඩේට අත ගැහුවේ.
ඔන්න ඉතින් රජත් පාන්දරම අවදි වෙලා සිරියහන් ගබඩාවට වෙලා බලන් ඉන්නවා දවසේ වැඩ පටන් ගන්න කලින් රැවුල එහෙම කපාගෙන පිලිවෙලක් වෙන්නය කියලා. වෙනදා පාන්දරම රැවුල කපන්න ගියාට අද කරණවෑමියාට අඩියක් උස්සා තියා ගන්නත් බැර තරමට බය. ඒ නිසා පොඩ්ඩක් ප්රමාද වෙනවා. රජත් කම්මැලි කමට ගිහින් සිරියහන් ගබඩාවේ කවුලුවෙන් රාජකීය උයන දිහා බලනවා. අප්පුච්චියේ පාන්දරම ගාලෙන් පැනලා ආපු තඩි මී හරකෙක් රාජකීය උයනේ රාජකීය ගලක අගක් අතුල්ලනවා. මේක දැක්කම රජාට කවි සිතුවිල්ලක් පහලවෙච්චි. උඟුරේ රැල් බුරුල් එහෙම ඇරපු රජතුමා හොද සද්දෙට කවියක් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
කවියක් කියන්න කට ඇරියට දෙවනි පදේ ගලපගන්න රජාට බෑ. ටික වෙලාවක් කල්පනා කරපු රජා දෙවෙනි පදෙත් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
ඔන්න එතකොටම කරණවෑමියාත් රජතුමා කිට්ටුවට එනවා රැවුල කපන්නය කියලා. රැවුල කපන්න කලින් දැලි පිහිය මුවහත් තියන්න එපැයි. කරණවෑමියා ඒ කාරිය කරණ කන් රජතුමා තුන්වෙනි පදෙත් කියනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
මේක ඇහිච්චච කරණවෑමියට මල මුත්තර පිට නොවුනා විතරයි. රජතුමා හතරවෙනි පදයත් කියලා රාජකීය ලීලාවෙන් කවිය අහවර කරනවා.
කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..
වෙන්න යන සන්තෑසිය ඔක්කොම රජතුමා දන්නවයි කියලා හිතපු කරණවෑමියා රජතුමාගේ දෙපා මුල වැද වැටිලා සමාව ඉල්ලා තමන් කොරන්න ගිය කාරියත් කොරන්න කියපු ඈයොත් ඔක්කොම වක්කඩ කැඩුවා වගේ කියනවා. රජත් අන්දුන් කුන්දුන් වෙලා. කොහොමින් කොහොම හරි රාජකිය කුමන්ත්රණයක් අහුවුනානේ.
රජතුමා කරණවෑමියාට නං සමාව දුන්නා කියලයි ආරංචිය. ඇමති මණඩලේට නං මොනවා උනාද දන්නෙ නෑ. අර මී හරකටනං රාජකීය හරක් ගාලේ නායක මී හරකා විදිහට උසස් වීමක් ලැබුනලු.
ප:ලි.
සිව්දෙස හෝ මුතුහර සගරාවක පලවූ ලිපියක් කියවූ මතකයෙන් ලියුවෙමි. චන්දනගේ එකල රජවරුද කවි කීහ පොස්ටුව කියවීමෙන් මතකයට නැගුනකි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.