ගෙපැලේ මිත්තරයෝ

බලනගල කන්ද පා ගමන.


     පා ගමන් යෑම අපට අලුත් දෙයක් නොවේ. බාල දක්ෂ වලට පින්සිදු වන්නට විවිධාකාරයේ පාගමන් යෑමට අපට අවස්ථාව උදා වී තිබේ.  මුල් කාලයේ පාගමන් ගියේ බාල දක්ෂ පදක්කම් ඉලක්ක කරගෙනය.  ටික ටික  පාගමන් යෑමේ උණක් සෑදීමට ඒ මුල් කාලයේ ගිය පාගමන් හේතු වන්නට ඇත. කැලෑ අස්සේ රිංගීමටත් කදු නැගීමටත් ලැබෙන අවස්ථාවක් අපි ලෙහෙසියෙන් අතහැරියේ නැත. නමුත් රැකියාව නිසා කාර්යය බහුල වීමත් නිවාඩු දින දෙක තුනක් කොහේ හෝ ඈතක යැම ගැන පෙම්වතියන් අමනාප වීමත් ආදී විවිධාකාර වූ හේතූන් නිසාත් පසු කලක පා ගමන් යාම නැත්තටම නැතිවී ගියේය.  පසු කාලයේ මිතුරු හමු සිදු වූයේ බෝතලයක් මුල් කරගෙන වීමත් පා ගමන් නැතිවීමට හේතුවක් වන්නට ඇත.
    ඒ නැතිවී තිබූ උණ බණ්ඩාට නැවත සැදුනේය. එයට එක් හේතුවක් වූයේ චින්තකයාය. චින්තකයා අපට වඩා කනිශ්ඨ බාලදක්ෂයෙකි. තවමත් බාලදක්ෂ ව්‍යාපාරය කරනනෙකි. නිවසේදී පාගමන් ගැන කියවද්දී ඒවායේ ජායාරූප පෙන්වද්දී. අපිත් එකක් යමු බන් යන්න මා නිතර පැවසු වදනක්ය. දෙවන හේතුව අසුරයාය. අසුරයා යනු අපට වඩා බාල චින්තකයාට වඩා වැඩිමල් වූ බාලදක්ෂයෙක්ය.  ඔහුගේ
 චාරිකා සටහන් කියවීම. පා ගමන් උණ දෙගුණ තෙගුණ  වීමට බරපතල ලෙස  උපකාර වූයේය.
    අවසානයේ කළකට පසු උණ හොද කරගැනීමට අවස්ථාවක් උදා වූයේය. මුලදී පස් දෙනෙක් සිටියත් යන දිනය වන විට එය සතරකට බැස්සේය. සුපුරුදු පරිදි පෙර සුදානම අවන්තගේ නිවසේදීය.  යන්නේ එතරම් දුරකට නොවේ. අවිස්සාවේල්ලටය. 

  අවිස්සාවේල්ලේ සිට නුවර පාරේ කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන තුන්මන් සංදියෙන් දකුණට හැරී පනාවල-මානියංගම මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගියවිට කදු පාමුලට යා හැක්කේය. උදෑසන 9 පමණ වන විට අපි කදු පාමුලට ලගාවුනෙමු. ගමනේ මුල් අදියර ගම්මානයක් මැදින්ය. 
  
කුඩා දියපහරක් අබියස උදෑසන ආහාර ගත්තෙමු. ඉහලට යත්ම මිනිස් වාසය අඩුවී වනගත බව වැඩි වන්නට වූයේය. පැය තුනක පමන ගමනකින් පසු අපි එක් කදු මුදුනකට පැමිණයෙමු.  අප තරණය කරන්නේ කුඩා කදු වැටියකි. එහි මුදුන් තුනක් තිබේ. අප පැමිණ සිටින්නේ එහි උසම කදු මුදුනටය.

 අවට දර්ශණය අතිශයින් සුන්දරය. අවිස්සාවේල්ල නගරයද. අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයද ඈතින් දිස්වේ. කදු පාමුල අප පසු කරමින් ආ නිවාස ආදියද කුඩාවට පෙනේ. පැයක පමණ කාලයක් කදු මුදුනේ විඩා නිවූ අපි  පල්ලම් බසින්නට වූයේ ඊළග කදු මුදුනට යාම සදහාය. 

 එහිදී අපට මුහුණ දුන් ගැටලුවක් වූයේ යන දිශාව තීරණය කර ගැනීමයි. කන්ද මුදුනේදී යා යුතු දිශාව හොදින් දර්ශණය වුවත් මදක් පහල බසිද්දී අනික් කදු මුදුන නොපෙනී යාම නිසා  යායුතු මාර්ගය තීරණය කර ගැනීම මදක් අසීරු විය. විශාල ගල් පර්වත පසු කරද්දී රවුම් ගැසීමට වීම නිසාත් නිවැරදි දිශාව අනුමානය කිරීමද අසීරුය. කරන්නට සිදු වූයේ ගසකට නැග බැලීම පමණය. මෙවන් අවස්ථාවල පිහිටට සිටින චින්තා ගසකට නැග දිශාව  සොයා ගත්තේය. ඒ අතරමග හමුවූ තරමක එලිමහන් පෙදෙසකදී දිවා ආහාරය ගත්තෙමු. උදේට මෙන්ම  දවල්ටද  සීනි සම්බෝල සමග පාන්ය. මේ වන විට අපේ ජලයද අවසන් වෙමින් තිබේ. ඉක්මනින් ජලය සොයා ගත යුතුය. එමනිසා  දිවා ආහාරයට වැඩි වේලාවක් ගත නොකර ඉක්මනින් ගමන් කලෙමු.  දෙවන කදු මුදුන ආසන්නයටම පැමිණි අපි අපේ ගමන් මලු එහි තබා ජලය සෙවීම පිණිස විසිර ගියෙමු.  ජලය සොයා  ගත්තේ චින්තාය. 

ඒ සදහා තරමක පල්ලමක් බැසිය යුතුය. දෙවැනි කදු මුදුනට යාම හෙටට කල් දමා අපි දිය පහර අසල කූඩාරම අටවා ගත්තෙමු.

    රෑ කෑම සදහා නූඩ්ල්ස් ද මීට් බෝල්ස් ටින් එකක්ද සකස් කර ගත්තෙමු.  ගිනිමැලයක් ගැසුවෙමු. ආහාර පිසීමට පිරිසිදු වීමට හා වැසිකිලි කැසිකිලි පහසුකම් සදහාද තිබුනේ කුඩා දිය පහර පමණි.   යන්තම් කලුවර වැටීගෙන එනවිට රෑ කෑම ගත් අපි කූඩාරම අසලට ගොස් ගිණිමැලය දල්වා ගත්තෙමු. 
  ඇම්ඩා ගැන, කෙල්ලන් ගැන, ආගිය තොරතුරු කියවමින් බොහෝ රෑ බෝ වන තුරු නිදි වරා සිටි අප නින්දට යන විට  රෑ මැදියමට ආසන්න වන්නට ඇත.
   උදෑසන 6ට පමණ වැස්සක් පටන් ගත්තේය. කූඩාරම යටින් වතුර පාරක් ගලා යන්නටවිය. වැස්ස වැඩි වෙලාවක් පැවතුනේ නැත. නමුත් නැවත නිදා ගත නොහැකි තරමට කූඩාරම තෙමී තිබුනේය. ඒ වනවිට දැඩි මීදුමකින් අවට වැසී තිබුනේය. හිරු උදාවත් සමගම මීදුම අඩුවී ගියේය.  තරමක සීතලක්ද තිබේ. නිවී තිබූ ගිනිමැලය නැවත අවුලුවා ගත්තෙමු.  කූඩාරම ගලවා වේලෙන්නට දැමුවෙමු. ඉක්මනින් උදෑසන ආහාර සකස්කරගෙන ගමන පටන් ගැනීමට සූදානම් වූයෙමු. අපට අවශ්‍ය වූයේ අව් රශ්මිය දැඩි වන්නට පෙර කදු මුදුනට යාමටය. නමුත් අප ලක ලැහැස්ති වන විට අව්ව තදින් පායා තිබුනේය. කෙසේ හෝ දෙවන කදු මුදුනද තරණය කළෙමු.  දැන් අප කදු වැටියේ දෙපස ඇති කදු මුදුන් දෙකම තරණය කර අවසන්ය. ඉතිරිව ඇත්තේ මැද්දෙන් පිහිටි කන්ද නැගීමය. එය තරමක් අසීරු කන්දකි. එම කන්දේ බාගයක් පමණ නගින විට වැස්සක් ඇද හැලුනේය.  වැස්සේම කදු මුදුනට ගියෙමු. ගල් තලාවක් හරහා පනින්නට ගොස්  මාගේ සපත්තුවක් ගල් දෙබොක්කාවකට වැටුනේය. චින්තක කඹයක ආදාරයෙන් පහලට බැස සපත්තුව සොයාගත්තේය.

 ටික වෙලාවකින් වැස්ස තුරල් වූ අතර. අප පහල බැසීමට පටන් ගත්තෙමු. නගිනවාට වඩා බැසීම අසීරු විය. වර්ෂාව නිසා ගල් ලිස්සන සුලු වීමත්, කූඩැල්ලන් බහුල වීමත් නිසා  ආපසු ගමන සිදුවූයේ වඩාත් සෙමින්ය. 

කෙසේ හෝ පැය දෙකක පමණ ඇවෑමෙන් අපි කදු පාමුලට ආවෙමු. සීතාවක ගගින් නෑවෙමු. නෑමෙන් පසු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ දක්වා පාගමනින් ආවෙමු.  
     මේ කලකට පසු ගිය පළමු පා ගමනයි. මේ පෝසටුව ලියනා විටත්  ඊළග පාගමන පිළිබද පිඹුරු පත් සැකසෙමින් තිබේ. මූලිකම ගැටලුව නිවාඩු දිනයන් සොයා ගැනීමය. නිවාඩුවක් ලැබුනු විගස තවත් කොහේ හෝ යනු ඇත. නකල්ස්, ඇළි හත, නමුනුකුල, කිරිගල්පොත්ත මෙන්ම දැරණියගල හරහා සමනළගිර වන්දනාව වැනි දීර්ඝ ලැයිස්තුවක් දැනටමත් ඇත්තේය. නැත්තේ වෙලාවය.  


බල්ලෙක්, ගල් ලොරියක් හා මිනිස්සු



    වෙලාව උදෑසන 6.30 ට පමණ ඇත. මා නාන කාමරයේ සිට එලියට ආවා පමණි. නැන්දා අඩාගෙන 
එන්නේය. නැන්දාට පිටිපස්සෙන් නංගීද අඩාගෙන එන්නේය.

ඇයි මොකද වෙලා තියෙන්නේ.

අනෙ බලපන් බන් ජිමියව වාහනේකට යට කරගෙන ගිහින්....

මොකක්... මම කමිසයක් ඇද ගැනීමට වත් පරක්කු නොවී පාරට ගියෙමි..

මාලා ඇන්ටි කාටදෝ බනිනවා ඇසේ. පාරේ කවුරුවත් නැත.

අනේ පුතේ මේ අපේ වත්තෙ ඉන්නේ.

   මාලා ඇන්ටි මා දැක කෑ ගැසුවේය. අඩියට දෙකට මා මාලා ඇන්ටි අසලට ගියෙමි. ජිමියා ඒ අසලම කාණුවක වැටී සිටියේය. මා දුටු විගස උගේ කෑ ගැසීම දෙගුණ විය. අසීරුවෙන් මෙන්  පැනගෙන මා අසලට ආවේය.   මම ඌ අල්ලන්නට සැදුවෙමි. කෑ ගසමින් දගලන බල්ලාගේ දත් මගේ අතේ දෙතුන් පලක ලේ බිදු මතු කිරීමට සමත් වූයේය. මම ඌට දගලන්නට බැරිවන ලෙස  බෙල්ලෙන් අල්ලාගෙන පරීක්ෂා කර බැලුවෙමි.  

මොහොකටද මාලා ඇන්ටි මූව අහුවුනේ..

මේ ගල්  ලොරියකට.. අයියෝ ඒ යකා නවත්තන්නෙ වත් නැතුව ගියානේ. මෙහෙමත් අසමජ්ජාති හැත්ත. 
මේ අතුරු පාරෙත් ඉගිලෙනවනෙ.

   ජිමියාගේ පිටුපස වම් කකුල දණහිස ගාවින් කැඩී තිබුනේය. ජිමියා සුදු පැහැති බල්ලෙකි. දැන් උගේ පිටුපස ලේ වලින් රත් පැහැ ගැන්වී තිබුනේය.  නැන්දා ඈතට වී බලා සිටියේය. කලයුතු එකම දේ හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත ගෙනයාමයි. නමුත් 9 පමණ වනතෙක් ඔවුන් පැමිනෙන්නේ නැත. ජිමියාව අසල ගසක බැද දමා ඌට බීමට ජලයද ගෙනවිත් දුන්නෙමි. ඉන්පසු ගෙදරට ගොස් අතුරුගිරියේ සිටින පශූ වෛද්‍යවරයෙකුට ඇමතුවෙමි. ඔහු සියලු විස්තර අසා සිට පැවසුවේ 9ට ඔහුගේ සායනයට රැගෙන එන ලෙසයි. වෙන කරන්නට දෙයක් නැත. දුරකට ගෙනයාම සදහා මුදල්ද නැත. අමාරුවෙන් හෝ 9ය වනතුරු සිට ජිමියාවද රැගෙන වෛද්‍යවරයා හමුවට ගියෙමි.  නැන්දාද මා සමග ආවේය. පශු වෛද්‍යවරයාගේ සායනයේ ඇති මේසය මත ජිමියාව දිගා කරවන විටය මම ඌගේ නියම තත්වය දුටුවේ.

     පිටුපස වම් කකුල දණහිස ළගින් කැඩී තිබුනේය. දණහිසේ ඇටයක්  එලියට පැන තිබුනේය. උගේ වෘෂණ කෝෂ තිබුනේ නැත. තිබිය යුතු තැන තිබුනේ විශාල වලකි. වෛද්‍යවරයා සුලු වේලාවක් ජිමියාව පරීක්ෂා කර බැලුවේය.

ඔපරේෂන් කරන්න වෙනවා. ඒත් සිහිය නැති කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. කැමතිද..

කමක්නෑ ඩොක්ට වෙන කරන්න දේකුත් නෑනෙ..

සමහරවිට කකුල නම් බේර ගන්න බැරිවෙයි. අපි පුලුවන් තරම් උත්සහ කරන්නම්..

මම හිස වැනුවෙමි. 

    ශල්‍යකර්මය සදහා පැය 2ක් පමණ ගතවුනේය.   එය අවසන් වන විට ජිමියාට උගේ පිටුපස වම් කකුල අහිමිව තිබුනේය. කලවය අසලින්ම කකුල කපා තිබුනේය. එක් වෘෂණ කෝෂයක් පමණක් තිබුනේය. වෛද්‍යවරයා දම්පැහැති බෙහෙතක් ජිමියාගේ තුවාල වලට ගෑවේය.
හවසටත් එක්කරගෙන එන්න. 5ට විතර එන්න.

    රුපියල් තුන්දහස් ගණනක් බිල ගෙවා අපි ගෙදර ආවෙමු. උණු වතුරෙන් ජිමියාව පිරිසිදු කර. සාලයේ කොනක තැනක් සකස් කර ජිමියා ව එහි තැබුවෙමු. ඌට තාමත් සිහිය නැත. කිහිප දෙනෙක්ම ජිමියාව බැලීමට ගෙදර ආවේය.   සවස තුන පමණ වන විට ජිමියාට ටිකෙන් ටික සිහිය එන්නට විය. ඌ නැගිටින්නට උත්සහ දැරුවේය. සිහින් හඩින් කෙදිරි ගාමින් නැගිටින්නට දරණ උත්සාහය දකින කාගේත් හද කම්පා කරන සුලුය.  වතුර ටිකක් බීවා ඇරෙන්න වෙන කිසිදු කෑමක් බීමක් දෙස බැලීමටවත් ජිමියා උනන්දු වූයේ නැත. කෙසේ හෝ සවස 5 පමණ වන විට නැන්දාත් මමත් ජිමියාව රැගෙන නැවතත් පශවෛද්‍යවරයා හමුවට ගියෙමු.

වෛද්‍යවරයා ජිමියා ජීවත්ව සිටිනු දැක සතුටට පත් වූයේය.
මම හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියලා.. දැන් රිස්ක් එකක් නෑ.

    තවමත් කටින් බෙහෙත් දීමට හැකි තත්වයක ජිමියා නොසිටි බැවින් සේලයින් හා තවත් බෙහෙත් වර්ග කීපයක්ම ජිමියාට එන්නත් කලේය. දින කීපයක් යන තුරු එන්නත් හා සේලයින් දීමට සිදුවන නිසා උගේ ඉදිරිපස වම් කකුලට කැනියුලා එකක්ද සවි කලේය. අපි නැවත ගෙදර එන විට සවස 7 පමණ වන්නට ඇත.

    ඌ කිසිවක් කන්නේ නැත. මහත් ආයාසයක් දරා යෝගට් එකකින් බාගයක් පමණ කවා ගැනීමට හැකිවිය.  වරින් වර වතුර ස්වල්පයක් බීවේය. රෑ 10 පමණ වන විට අපි නිදන්නට සැරසුනෙමු. තවමත් ජිමියා සිටින්නේ  සාලයේ සකස් කල ස්ථානයේමය. මමද සෙටිය ඒ කිට්ටුවට ඇදගෙන එහි ඇලවුනෙමි. දැන් ජිමියාට හොදින් සිහිය ඇවිත්ය. උගේ තුවාල වේදනා දෙනවා ඇත. ඌ වරින් වර කෙදිරි ගායි. මම ඌ අසල වාඩි වී ඌව අතගාමින් සිටියෙමි. ටික වෙලාවකින් ඌ නිහඩ වෙයි. එවිට මම සෙටියේ ඇලවෙමි. නැවතත් ඌ කෙදිරි ගාන්නට වූ විට සෙටියෙන් බැසගොස් ඌව අතගාමීන් සිටිමි.  මෙලෙස පැය දෙකක් පමණ ගෙවී ගියේය. ජිමියාගේ කෙදිරිය වැඩි වූයේය. මම ඌ අතගාමින් සිටියෙමි. නැන්දාද නැගිට ආවේය. අපි දෙන්නා විනාඩි 10 පමණ එක එක දේ ගැන කියවමින් සිටියෙමු. නැන්දා නැවත නිදන්නට ගියේය. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මමද සෙටියේ ඇල උනෙමි.  මට නින්ද ගියේය. ඇහැරෙන විට පාන්දර 2ට පමණ ඇත. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මම විදුලි පහන් දල්වා බැලුවෙමි. උගේ පපු පෙදෙස උස් පහත් වන්නේ නැත. තවත් ලංවී බැලුවෙමි. ජිමියා මියගොස්ය.

    පාරේ අවසිහියෙන් ගමන් කල ගල් ලොරියක් නිසා ජිමියා නොවිදිනා දුක් විද මරණයට පත් වුයේය. එක් අතකින් ලොරි කාරයාට බැන වැදී පලක් නැත. ඒ උස ලොරියකට නැගගත් පසු රෝදයක් අසලට එන බල්ලෙක් තබා සමහරවිට මිනිසකු වුවත් පෙනෙන්නේ නැති වන්නට පුලුවන. මා සිතනා හැටියට මිනිසුන් ඕනෑ කමින් අනතුරු සිදුකරන්නේ නැත. ඕනෑ කමින් කරනවානම් ඒවා අනතුරු නොවනු ඇත.

   ජිමියා බැලීමට ආ පිරිස අතර නැන්දාගේ ඉතා සුහද අසල්වැසි ඇන්ටි කෙනෙක්ද වූයේය. ඇය සතර පෝයට සිල් ගන්නා ඉතාමත් ධර්මිශ්ඨ කාන්තාවක් ලෙස අසල්වැසියන් අතර නමක් දිනා ගත් අයෙකි. නමුත් ඇය ආ ගමන්ම පැවසුවේ

අයියෝ මේ බල්ලෙක් ගෙන් ඔයගොල්ලන්ට තියෙන කරදරයක්.. චිහ් මහ වදකාර බල්ලෙක්.. 

ඇයගේ අදහස අනුව අපි ජිමියා සදහා වියදම් කරේ අහල පහල මිනිසුන්ගෙන් කතන්දර ඇසීමට අකමැති නිසාය. 

"වෙදකම් නොකර බෑනෙ. වටේ පිටේ මිනිසසු මොනව නොකියයිද.."

ජිමියාගේ මරණය ආරංචි වු විගස ඇය පැවසුවේ  “අයියෝ මෙච්චර වියදම් කරාට පසසෙ මූ මලානේ. කලින්ම මැරුණනම් මේ වියදම් නෑ නෙ...” 


අපේ බදුලු ගමන... තුන්වන දිනය..

පළමු දිනය මෙතනින්
දෙවන දිනය මෙතනින්

          තුන්වන දිනටත් උදා වුනේය. කලින් දින නිදා ගත් තැන, නිදා ගත් ආකාරය පෙනෙන්නේ දැන්ය. අවුලක් නැත. එක එකා අමාරුවෙන් නැගිට ගත්තේය. චින්තාගේ අම්මා තේ සාදා දුන්නේය.  යන්තම් උඩින් පල්ලෙන් වාගේ මුහුණ සෝදාගත්තේය. උදේ කෑම සකස් වන තුරු ෆොටෝ ගැසුවේය, මල් කැඩුවේය. කෑමෙන් පසු  නැවතත් පාරේය. මේ චින්තාගේ ගමය. යන යන තැන ඉන්නේ නෑදෑයන්ය. පැයක් පමණ කාලයකදී බිස්කට් සමග තේ කෝප්ප සතරක් බීමටද, ජෑම් පේර ගසක් සුද්ද කිරීමටද අවස්ථාව සැලසුනේය.  පුවක් කොලපු පැද්දේය,  බළල් බැළලි ආදරයක් දුටුවේය.


       පාර අයිනේ පළබරවු ජම්බෝල ගසක් හමුවුයේය. ගල්ගසා ජම්බෝල කැඩීමට බලවත් උත්සහයක් ගත් නමුත් හරිගියේ නැත. අන්තිමට චින්තා ගසට නැග්ගේය. බණ්ඩාත් අවත් කඩන ජම්බෝල ඇල්ලීමේ කාර්යය බාර ගත්තේය. බැරිවෙලාවත් අල්ලා ගන්නට බැරි වුනේ නම් ජම්බෝලෙ නවතින්නෙ අඩි පනහක පමණ පල්ලමකය. නමුත් බණ්ඩාගේත් අවාගේත් හොදකමට ගෙඩි තුන හතරකට වඩා පල්ලමට ගියේ නැත. ශුද්ද ලාභය ලෙස ගෙඩි තුනක් ඉතුරු විය. එතැන් සිට නැවත චින්තලාගේ  ගෙදරට යන තුරු,ජම්බෝල වලින් ටීක් ගැසුවේය, පොර පොල් ගැසවේය. පාර දිගේ රෝල් කරේය.
“ආ මේ ළමයි ජම්බෝලත් කඩලා.. අපව දුටු චින්තාගේ අම්මා කීවේය.. ඕව තලාගන්න එපා.. තිත්ත වෙනවා..
      තලලා ඉවරය.. කට වසා ගෙන සිටියේය.. සාලේ පැදුරක් දමාගෙන ජම්බෝල ලෙලි ගසාගෙන කන්නට වුනේය.

     චින්තාගේ අම්මා හරිය. කට හාරාගෙන යයි. කනවා තබා හිතන්නටවත් බැරිය. ගෙඩි තුනම ලෙලි ගසා බැලුවේය. සේරම එක වගේය. මෙලෝ රහක් නැත. කටේ අමුත්ත යන්නට පැණි දොඩම් මිරිකා බිව්වේය. 

       දිවා ආහාරයෙන් පසු චින්තාගේ ආච්චිලාගේ ගෙදර යාමට පිටත් වුනේය. එය පැය දෙකක පමණ ගමනක්ය. චින්තලාගේගම බඹරපානය. එහි සිට වැලිමඩටත්, වැලිමඩසිට විදුරපොලත් දක්වා බසයෙන් ගමන් කලේය. බසයෙන් බැසූ තැන සිට කිලෝ මීටර් දෙකක පමණ දුරක් ගමන පයින්ය. චින්තාගේ ආච්චි හා සීයා අපව සාදරයෙන් පිළිගත්තේය.  වටේටම ඇත්තේ අල වතුය. ගෙඩි පිරුන අලි පේර ගස්ද සැහෙන්න තිබුනේය. ආච්චිලාගේ වත්තේ මිදි වැලක්ද තිබුනේය. අප  යන විට නම් එහි පොකුරු  පිටින් මිදි තිබුනේය. ටික වෙලාවකින්  බලද්දී බෙහෙතකටවත් ගැනීමට   මිදි නැත. කුමක් වූවාදැයි දන්නේ දෙයියෝ පමණි.
       ආච්චිගේ උණුසුම් තේ කෝප්පයක් බීමෙන් පසු නාන්නට තැනක් සොයා කට්ටිය පල්ලම් බැස්සේය. (නිවස පිහිටා තිබුනේ කුඩා කන්දක් මුදුනේය) කලකින් වැස්සක් වැටී නැති නිසා ඔය සිදිලාය. ගල් අස්සෙන් හීනියට ගලාගෙන ගිය වතුරද බොර පාටය. ඔයෙන් නෑම අතහැර පීල්ලට ගියේය. පීල්ලේ වතුරද අඩුය. නමුත් සීතල වැඩිය.

මෙහෙම ජුන්ඩ ජුන්ඩ නෑවම සීතල වැඩියි බන්.. හිටපන්කො වැඩක් කරන්න..

     අවා සෙරෙප්පුවක් ගෙන පීල්ලේ  කට වැසුවේය. දිය පහරක් හරස් කොට බැම්මක් බැද, ඒ මැදින් ලොකු බටයක් සවි කිරීමෙන් පීල්ල සාදා තිබුනේය. අවා සෙරෙප්පුව තබා වැසුවේ මේ බටයයි. ටික වෙලාවක් යන විට බැම්මට එහා පැත්ත වතුරෙන් පිරෙන්නට වූයේය. වතුර සෑහෙන පමණ පිරුණ විට සෙරෙප්පුව අයින්කර බටයට ඔලුව ඇල්ලූ විට අධික වේගයෙන් එන වතුර නෑමට හැකිය. එකවර වතුර ගොඩක් එන නිසා ගොඩක් වෙලා ඔලුව අල්ලාගෙන සිටීමට අවශ්‍ය නැත. මෙලෙස මාරුවෙන් මාරුවට කට්ටියම හොද හැටි නාගත්තේය. නාගෙන එනවිට කලුවර වැටිලාය.
       ගමේ පන්සලේ පින්කමකි. ආච්චි එයට සහභාගී වීමට සිටියත් හිටිහැටියේ කඩා පාත් වු කොලු රංචුවට රෑ කෑම සැදිමට ඇති නිසා ගෙදර නැවතුනේය. ආච්චි පව්ය. ඇයගේ අඩුව පුරවන්නට අප පන්සල් ගියේය. පන්සල පිහිටා තිබුනේද කන්දක් මුදුනේය. හති හලාගෙන කන්ද නැගගෙන පන්සලට ගියේය.

 ගියාට වැන්දේ නැත. වදිනවා මෙන් ෆො‍ටෝ ගැසුවා පමණි. නාඹර උපාසිකාවන්ගෙන් පන්සල පිරී තිබුනේය. නමුත් අපි ඔවුනගේ ෆොටෝ ගැසීමට ගියේ නැත. මේ ගමේ කෙල්ලෝ එච්චර ලස්සන නැත. ලස්සන වුනානම් ,අම්මලා පුන්චි අම්මලා බාප්පාලා ලොකු මාමලා කොච්චර වටේ සිටියත් ෆොටෝ නොගසා සිටින්නේද නැත.

පන්සලෙන් පිටවුයේ බඩගින්න විසින් අණ කරනු ලැබු විටය. ආච්චි කෑම ලෑස්ති කොට තිබුනේය. කෑමෙන් පසු සුපුරුදු පරිදි නින්දය.

සිව්වන දිනය (අවසාන දිනය)

      
      අද ගමනේ අවසාන දිනයයි.  පාන්දරින්ම පිටත් වීමට අදහස තිබුනත්  විදුරපොලින් පිටත් වන විට  දහයද පසුවී තිබුනේය. විදුරපොලින් වැලිමඩටත් වැලිමඩින් බදුල්ලටත්, බදුල්ලෙන් 99 කොළඹ බසයක නැගී මීපෙ හංදියටත්, එතැන් සිට තුන්රෝ රියකින් අවාගේ ගෙදරටත් පැමිණීමෙන් චාරිකාව සමාප්ත විය.