ගෙපැලේ මිත්තරයෝ

බඹරකන්ද ඇල්ල මුදුනේ රාත්‍රියක්

ලබන මාසේ මුල දවස් ගානක ලොකු නිවාඩුවක්.. 
සිංහල අවුරුද්ද ඉවර වුනු ගමන්ම කට්ටියම කතා උනේ ඒ ගැන... 
ගොඩක් අය වගේම අපිත් පොඩි ට්‍රිප් එකක් සැලසුම් කරා.... මැයි 1,2,3 යන්න

පා ගමනක්.. දවස් තුනක්, රෑ දෙකක්. යහන්ගල යන්න තමයි අදහස. 

මුල් දවස් වල සුපුරුදු විදිහට හය හත් දෙනෙක් හිටියා යන්න..

අප්‍රේල් 29 වෙනකොට හතර දෙනෙකුට අඩුවුනා.. 
අප්‍රේල් 30 රෑ ... දෙන්නෙක් විතරක් ඉතුරු නිසා ගමන අවලංගුයි.. (ඉතුරු දෙන්නගෙන් එක්කෙනෙක්වත් මම නෙමෙයි)

අපරාදේ නිවාඩුව.. කොහේ හරි යන්නම ඕනේ... දිනුකයි ඉන්දුයි (ඉතුරු වුනු දෙන්නා)  මැයි පළමු වනදා ආපහු යාලුවන්ට කතා කරා .. දෙන්නෙක් ඉන්න නිසා තව එක්කෙනෙක් හරි හිටියනම් ඇති..

ඉතිං... මම කැමති උනා..

               2015 මැයි මස දෙවෙනිදා.. තවත් පා ගමනක ආරම්භය. අනේක විධි කැපිලි කෙටිලි වලට පසු දිය ඇලි නැරඹීමේ අපේක්ෂාවෙන් තිදනෙකු ගෙන් යුතු ගවේශණ කණ්ඩායම කලුපහන ප්‍රෙද්ශයට ළගා වන විට පෙරවරු 10.30 පමණ වන්නට ඇත.  එතැන් සිට කිලෝමීටර් හයක් පමණ දුරක ත්‍රී රෝද රථයකින් ගමන් කලේ කාලය ඉතුරු කර ගත යුතු නිසාවෙනි.
              අප ගමන් කරන්නේ ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹර කන්ද ඇල්ල කරා යාමට නියමිත මාර්ගයේයි. එය කිසිසේත්ම දුශ්කර නොවන හොදින් සකසා ඇති මාර්ගයකි. අපේ ප්‍රධාන අරමුණ එතරම් ප්‍රසිදද නොවුනු නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙකක් නැරඹීමයි. අප දන්නා තොරතුරු වලට අනුව මේ වන තුරු කිසිවකුත් මේ දිය ඇලි අසලටම ගමන් කර නැත. අපේ අදහස කෙසේ හෝ දිය ඇල්ල පාමුලට ළගා වීමයි. 
               බඹර කන්ද දිය ඇල්ල කරා ගමන් කිරීමට ඇති තාර දැමූ මාර්ගයේ බඹර කන්ද ඇල්ල පිවිසුම් මාර්ගය පසු කරමින් තරමක දුරක් ගිය පසු හමුවන කුඩා අඩි පාරකින්  නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙක දක්වා ගමන් කල හැකියි. ඒ් මාර්ගය සැකසී ඇත්තේ පවුල් කිහිපයක් පදිංචිවී සිටින අතිශය දුශ්කර ගම්මානයක්  හරහායි. එම ගම්මානයට යාමට ඒමට ඇත්තේ කුඩා අඩි පාරක්ම පමණයි.






                 ගම් වැසියන් සියල්ලන්ම පාහේ ද්‍රවිඩ ජාතිකයන්. අප ඔවුන්ගෙන් මාර්ගය විමසුවත් අදහස් හුවමාරු කර ගැනීම එතරම්ම පහසු වූයේ නැහැ. කෙසේ හෝ ඔවුනගේ වගා බිම් හරහා ගමන් කරමින් අවශ්‍ය මාර්ගයට ලගා වන්නට අපට හැකියාව ලැබුනා. කඳු වැටියක බඳ වටා සැකසී තිබූ එම මාර්ගයේ බොහෝ කලකින් කිසිවකුත් ගමන් කර තිබුනේ නැහැ.







එම මාර්ගය සැකසී තිබුනේ දිය ඇලි පෙනෙන මානය තෙක් පමණයි.




                          එතැන් සිට ඇල්ල දක්වා නියමිත මාර්ගයක් නොමැත. ඝනව වැඩුනු මානා පඳුරු යායක් මැදින් දළ බෑවුමක් බසිමින් ඇල්ලට ළගා වීමට උත්සහයක යෙදුනෙමු. පළමු උත්සහය තරණය කල නොහැකි අන්දමේ සීග්‍ර බෑවුමකින් අවසන් විය. ඉහලට නැගුනු අපි වෙනත් මගකින් නැවත උත්සහ කළෙමු. දෙවන වර සොයා ගත් මාර්ගයේද වැඩි දුර යාමට නොහැකි විය.  මාන පඳුරු පොඩිකර ඒ මත වැතිරුනු අපි  ඉදිරිය ගැන සාකච්චා කලෙමු. අපගේ සැලසුම වී තිබුනේ මෙහි රාත්‍රිය ගත කිරීම නොවන නිසා බිස්කට් හා බීම බොතලයක් පමණක් තබාගෙන අන් සියල්ල ද්‍රවිඩ ගම්මානය පසු කර ටික දුරකින්ම පයිනස් ගසක් මුල තබා ආවෙමු. එම නිසා මෙහි රාත්‍රිය ගත කල නොහැක. කාලය බොහෝ ගතවී ඇති නිසා තවත් ඉදිරියට ගියහොත් අඳුර වැටෙන්නට පෙර පැමිණීම කල නොහැකි වනු ඇත. සියලු තර්කවිතර්කයන්ට පසු ,දිය ඇල්ල පාමුලට යෑමේ බලා පොරොත්තු සුන් කර ගත් අපි ආපසු ඒමට පිටත් වුනෙමු . බැස්මට වඩා  නැග්ම බෙහෙවින් දුශ්කර වූ අතර ගමන් මලු දමා ගිය ස්තානයට එන විට අවට තරමක මීදුමක් දක්නට ලැබුනේය.






                  ද්‍රවිඩ ගම්මානය දක්වා පැමිණි පසු ගමන වඩාත් පහසු වූයේය. පැමිනි මග දිගේම ආපසු ගමන් කල අපි ඉක්මනින් ම තාර පාරට පැමිණියේය. තාර පාර දිගේ දිගටම ගමන් කරීමය කල යුත්තේ. තාර පාර ගල් ඇල්ලු පාරකටද. ගල් ඇල්ලූ පාර බොරලු පාරකට පරිවර්තනනය වූ අතර. මාර්ගය හරහා සුන්දර දිය පහරක් ගලා ගියේය. 

 මේ මාර්ගයේ මීට පෙර ගමන් කර පුරුදු ඇත්තෙකු වූ ඉන්දු..
  "අහා දැන් ළගයි.. මට දැන් හොදට පාර මතකයි " 
                    කියූ බැවින් අපද ප්‍රණවත් වී වේගයෙන් ගමන් කලෙමු. තරමක් වෙලා ගමන් කල පසු අපට ඈතින් දිය ඇල්ලක් පෙනෙන්නට විය. එය ලංකා ඇල්ල ලෙස ඉන්දු විසින් හදුනා ගත්තේය. නමුත් කුමක් හෝ වරදක් වී ඇති බව ද ඔහු වටහා ගත්තේය.  අප වැරදි මාර්ගයක මද දුරක් ගමන් කර තිබූ අතර ආපසු හැරී නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණය වීමට එතරම් වෙලාවක් ගතවූයේ නැත. 
                       බොරලු පාරේ පයිනස් ගස් වගාවක් අසලින් අප ගමන් කල යු තු මාර්ගය වැටී තිබුනේය. පයිනස් වගාවක් මැදින් පල්ලම් බැසීමට සිදු වීම තරමක දුශ්කර කාර්යයකි. අඟල් ගනනක් ඝනකමට පොලව වසා ගෙන ඇති පයිනස් කොල නිසා තබන සෑම අඩියක් පාසාම ලි්ස්සන සුුලු වේ.  අප මේ ගමන් කරන්නේ බඹර කන්ද ඇල්ලේ ආරම්භක ස්ථානයටයි.  උසින් ලොව 299 වන ස්ථානයේ වැජබෙන, ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලේ මුදුනේ් රැයක් ගත කිරීමයි අපගේ අරමුණ.


බඹර කන්ද ඇල්ල ( ඡායාරූපය අන්තර්ජාලයෙනි)


                    අප එම ස්ථානයට එන විට සවස 5.30 පමණ  වන්නට ඇත. ඉන්දු හා දිනුක කූඩාරම සැකසීම කරන අතර තුර මම තේ සෑදීම සදහා සූදානම් වුනෙමි.  ගිනි දැල්වූ ස්ථානයක් මෙන්ම පයිනස් කොටයක් හරහට දමා කඳවුරු බැදීම සඳහා ආරක්ෂාකාරී තැනක්ද සකසා තිබූ බැවින් මෙහි කඳවුරු බදින පළමු පිරිස අප නොවන බව පැහැදිලිය. ලංකාවේ උසම ඇල්ලට ඉහලින් තවත් කුඩා ඇල්ලක් ඇත්තේය. ඒ ඇල්ලෙන් වැටෙන ජලයෙන් කුඩා තටාකයක් නිර්මාණය වේ.  එයින් ගලා යන ජලයෙනි බඹර කන්ද ඇල්ල නිර්මානය වන්නේ.



                           ගමනේ සොඳුරුම නිමේශය උදාවූයේ දැන්ය. භුමිතෙල් ලිපක් ගෙනවිත් තිබුනත් භුමිතෙල් නැත. තේ සෑදීමට තේ කොල හා පිටි තිබුනත් සීනි නැත. රෑ කෑම සඳහා සීනි සම්බෝල ඇත, පාන් නැත.  ගල් තුනක් තබා ලිපක් බැද පයිනස් කොල හා පයිනස් දර දමා ගිනි දල්වා සීනි නැති තේ සකසා ගත්තෙමු.  



                         රෑ බෝ වත්ම අවට පරිසරය සිසිල් වන්නට වූ අතර අපද සීතල ජලයෙන් පිරිසිඳු වී ගිනිමැලය අසලට වී සීනි සම්බෝල සමග බිස්කට් කෑවෙමු.  ඉන්පසු නින්දට.

පසුවද අපි උදෙන්ම අවදි වූවෙමු.  
ගිනිමැලය දල්වා තේ සාදාගෙන බිව්වෙමු. (සීනි = චොකලට් බිස්කට් වල ක්‍රීම්)  
ඡායාරූප ගත්තෙමු 




බඹරකන්ද ඇල්ලේ ඇරඹුම.

              උදෑසන ආහාරය සඳහා කව්පි තැම්බුවෙමු.  කව්පි තැම්බූ වතුර බිව්වෙමු.  කූඩාරම ගැලෙව්වෙමු. කඳවුරු බිම පිරිසිදු කිරීම හා ගමන් මලු සකස් කර ගැනීමෙන් පසු, නැවතත් ගමන් ආරම්භය. 
               අද අපේ අරමුණ ලංකා ඇල්ල නැරඹීමයි.  බඹරකන්ද ඇල්ල පාමුල  සිට ලංකා ඇල්ල දක්වා අඩි පාරක් ඇති අතර, අප සැරසෙන්නේ ඒ මාර්ගය සොය පල්ලම් බැසීමටයි.   




පොයින්ට් බඹර ලෙස අප නම්කල, ලක්දසුන් හි Bambarakanda Lovers ලෙස හැදින්වූ තැන





පොයින්ට් බඹර  ( ඡායාරූපය අන්තර්ජාලයෙනි)
පොයින්ට් බඹර පසු කර ටික දුර යාමෙන්  අපට අඩි පාර හමුවූ අතර එතැන් සිට ගමන පහසුය. 




  ලංකා ඇල්ල අසලට යාමට අපට පැය බාගයක් පමණ ගත වන්නට ඇත. එම සුන්දර ඇල්ල වැටෙනා වූ තැන සෑදෙන තටාකයේ හැඩය නිසා ඇල්ලට නම ලැබුනු බවය දැනගන්නට ඇත්තේ. 






සීතල ජලයේ ගිලී හොදින් දිය නා ගත්තෙමු.   උදෑසන තම්බා ගත් කව්පි ආහාරයට ගත්තෙමු.

                  අපගේ චාරිකාව මෙතැනින අවසන්ය. ආ මග දිගේම ආපසු ගමන් කර බඹරකන්ද ඇල්ල පාමුලටම පැමිනියෙමු. බඹරකන්ද ඇල්ල හා ලංකා ඇල්ල යා කෙරෙන මාර්ගයේ මැද්දෙන් පිහිටා ඇති අඩි පයිනස් ගස් අතරින් ඉහලට ගිය විටය බඹරකන්ද ඇල්ලේ ඉහලට යා හැක්කේ.  අප කඳවුරු බිමේ සිට පහලට ආවේ ඒ මාර්ගයෙන්ය. 
                බඹරකන්ද ඇල්ල නැරඹීම සඳහා කොන්ක්‍රීට් දමා සකස් කරන ලද පාරක් පඩිපෙළවල් හා පාළම් ඇති නිසා ප්‍රවේශ පත්‍ර ලබා ගත් තැන් සිටම  පහසුවෙන් ගමන් කළ හැකිය. එම නිසාවෙන්  ඇල්ල නැරඹීමට පැමිනෙන පිරිස බොහෝය. පොලිතින් හා අනෙතුක් අපද්‍රව්‍යද බොහෝමය.   
          කලුපහන මංසන්ධිය දක්වා පයින් පැමිණි අපි, එහි තිබූ හෝටලයකින් පරාටා කා සීනි දැමූ තේ බිව්වෙමු. කොළඹ බලා ගමන් කරනා බසයක නැගී නිවෙස් බලා ආවෙමු.