ගෙපැලේ මිත්තරයෝ
ලන්ච් එකට කට්ටියක් එනවා
“මේ මේ හලෝ අන්න වත්සලා අක්කලා එනවලු”..
“කවද්ද”....
“අද එනව මෝඩයෝ.... දැන් ඇහැලියගොඩ පහුකරාලු”....
අක්කා විස්තර කියන්නේ සාලයේ වු බඩු එහේ මෙහේ අදිනගමන්ය. “ඔන්න ඔය කෙහෙල්මල වහල දාල ඇවිත් මට උදව් කරනවකෝ”. ඇයගේ ඉල්ලීමක් නොසලකා හැරීම තෙවන ලෝක යුද්ධයකට අත වැනීමක්ය. එහෙයින් වැඩි කතාවක් නැතුවම ඇයට අවනත වූ මම එහෙ මෙහෙ වී තිබූ පුටු කිහිපය සකස් කළෙමි.
“මෙතන කරන්න දෙයක් නැනේ බොරුවට අත ගාන්නෙ නැතුව frig එකට වතුර එකක් දාන්න”.
“හා. මොකටද දාන්නෙ”.
“බොන්නනෙ මැට්ටො”. අක්කා ඇගට කඩා පැන්නාය.
“මම දන්නව ඒක මම ඇහුවෙ වතුර දාන්න බෝතල් තියෙනවද කියලා”.
“කබඩ් එක උඩ තියෙනවා, හෝදල අරගන්න”.
කබඩය උඩ තිබුනේ මෙගා බීම බෝතල් කිහිපයකි. බීම බිව්වාට පසු සේදීමේ සිරිතක් නැති නිසාවෙන් සෑම බෝතලයක්ම එයට අනන්‍ය වූ බීම සුවදින් යුක්තය. මේ හදිසියේ සේදීම ලෙහෙසි නැත. බාගෙට සෝදා අක්කාට හසු වුවහොත් එය ඊට හපන්ය. එහෙයින් මම වඩා පහසු කටයුත්ත තෝරා ගත්තෙමි.
“බෝතල් දෙකක් ඇතිනේද”?
“ඇති. ඉක්මන් කරන්න”.
මම බෝතල් සේදීමේ කාර්යය ආරම්භ කළෙමි. එක බෝතලයක් සෝදා දෙවන බෝතලය සේදීමට සැරසෙන විටම අක්කා කඩා පැන්නේය
“තාම හෝදනවද? ඕක කූල් වෙන්නත් ඕනෙ ඉක්මනට දානව”.
මම මුවින් නොබැන බෝතල් දෙකටම වතුර පුරවා ශීතකරණයේ දමා සාලයට ආවෙමි. එවිටම අයියා ලොකු කෙසෙල් ඇවරියක්ද රැගෙන ගෙට ගොඩවුනේය.
“මොනාද ඒ කෙසෙල් විතරද ගෙනාවෙ”. අක්කා කෑගැසුවේය.
“ඇයි ඔයා කිව්වෙ පළතුරක් ගේන්න කියලනෙ. කෙසෙල් පළතුරක් නෙමෙයිද”? අයියා ඇසුවේය.
“ඒ උනාට අනේ කෙසෙල් විතරක් මදිනේ, තව මොනව හරි ගේන්න, හ්ම්ම්ම්ම් කිරි හට්ටියක් ගේන්න”.
අයියා නැවතත් එලියට බැස්සේය. අක්කා කුස්සිය දෙසට ගියේය. මම රුපවාහිනිය ඉදිරියේ වාඩිවී දුරස්ථපාලකය සොයන්නට වීමි. රුපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබේ නමුත් දුරස්ථපාලකය සොයා ගැනීමට නැත.
“අක්කේ... කෝ රිමෝට් එක”.
“ඔතන ඇති, මම දන්නැ” අක්කා කුස්සියේ සිටම කැගැසුවේය.
අක්කාගෙන් අසා පලක් නැත. මම සාලය පුරාම දුරස්ථපාලකය සොයන්නට වීමි. නැත කොහේවත් නැත. නැවත වරක් අක්කාගෙන් ඇසීම බැනුම් කෝටියක් සමග ටොක්කක් ලබා ගැනීමට මගකි. පේන දෙයක් බලා සිටීම ඇගට ගුනය.
“මල්ලී...” අක්කා කුස්සියේ සිට දුව ආවාය. “අනේ මල්ලියෝ කඩේට දුවල එන්නකො..”
“ඇයි අයියා ගියේ. එයාට කෝල් කරල කියන්නකො..”
“එයා මොබයිල් එක දාල ගිහින්. දුවල ගිහින් පපඩම් පැකට් එකක් අරන් එන්නකො.”
අක්කා දිගුකල රු 100 ත් රැගෙන මම පාරට ආවෙමි. ගේට්ටුව අසලදීම වාගේ ඉදිරියට ආවේ අයියාය.
“මල්ලි කොහෙද යන්නෙ”.
“කඩේ... පපඩම් ගේන්න”.
“ඉතින් මම යනකොට කියනන තිබ්බනෙ..”
“එයාට අමතක උනාලු.. කමක් නැ මම ගිහින් එන්නම්.”
කඩයට ලොකු දුරක් නැත. නමුත් මහ දවාලේ කට්ට අව්වේ එහි යෑම එපාම කරපු වැඩකි. කඩයේ තවත් දෙතුන් දෙනෙකු සිටියේය. මට පපඩම් රැගෙන ඒමට විනාඩි 5ක් පමණ යන්නට ඇත. පාර පැන නිවස අසලට එනවිටම අයියා නැවතතත් ගේට්ටුව ඇරගෙන එලියට ආවේය.
“ආපහු කොහෙද යන්නේ.” මම අයියාගෙන් ඇසුවෙමි
“කඩේ.. කිරි කන්න පැණි ඕනෙනෙ..”
මම පපඩම් පැකට්ටුවත් රැගෙන කුස්සියටම ගියෙමි.
“ආ මෙන්න...”
“ඔතනින් තියන්න...” අක්කා මේසය පෙන්වමින් කීවේය.
සාලයේ තිබෙන රුපවාහිනියේ දුරස්ථපාලකය කුස්සියේ මේසය උඩ තිබේ. “ඈ අක්කෙ තමුසෙ මොකටද රිමෝට් එක කුස්සියට ගෙනාවෙ.”
“මම ගෙනාවෙ නැ තමුසෙම අරන් එන්න ඇති.” අක්කා වරද මගේ පිට පැටෙව්වාය.
“මම දැනුයි කුස්සියට ආවේ. අස් කර කර ඉදලා එහෙම්මම අරන් එන්න ඇති.”
“හරි හරි මල්ලෝ මම අරන් එන්න ඇති, දැන් හම්බඋනානෙ. මේ හොද මල්ලි වගේ කඩේට දුවල එනවකෝ.” අක්කා බටර් ගාන්නට වුවාය.
“ආපහු මොකටද. තව මොනව ගේන්නද. තියෙන දෙයක් එක්ක කන්න කියනවා හලෝ.” මම ගනන් ඉස්සුවෙමි
“පොල්තෙල් නෑ පපඩම් බදින්න විදිහක් නැ. අනේ ගිහින් එනවකො.” අක්කා සල්ලි දෙමින් කීවාය. “පරක්කු වෙනවා ඉක්මනට ගිහින් එන්න.”
වාද කිරීමෙන් හෝ ගනන් ඉස්සීමෙන් පලක් නැත. මම නැවතත් ගේට්ටුව ඇරගෙන පාරට ආවෙමි.
“ආපහු කඩේ යනවද?”
ඒ අයියාය ඔහු පැණි බෝතලයක්ද අතේ තබාගෙන සිනාසෙමින් සිටියේය.
“ඔව්.. පපඩම් බදින්න පොල්තෙල් නෑලු..”
“තව කී පාරක් කඩේ යන්න වෙයිද දන්නෙ නැ. වෙලාවට අද කිව්වෙ එනවා කියලා. නැත්තම් ඊයෙ රෑ නිදාගෙනත් ඉවරයි.” අයියා කීවේය.
“ඒකනම් ඇත්ත.. මේ මම දුවලා ගිහින් එන්නම් නැත්තම් පරක්කු උනා කියල කෑ ගහයි..”
පොල්තෙල් ගෙනවිත් දීමෙන් පසු මම නැවතත් රැපවාහිනිය ඉදිරියෙන් වාඩි වුනෙමි. අයියාද මා අසලින් ඉද ගත්තේය.
“යන්තං වැඩ ඉවරද මන්දා..” මම කිව්වෙමි
“මොන පිස්සුද මල්ලි තව දෙතුන් වතාවක්වත් කඩේ යන්න වෙයි. කවුරු හරි එනවා කිව්වම ඔහොම තමයි. මට දැන් ඕක ගානක් නැ.”
මා දැනුවත්ව අයියා තුන් වතාවක් කඩේ ගියාය. මම දෙවතාවක් කඩේ ගියාය. මා නොසිටියානම් අයියා පස් වතාවක් කඩේ යා යුතුය. මට අයියා ගැන දුක සිතුනි.
නැවතත් අක්කා සාලයට දිව ආවාය. “මේ වත්සලාගෙ පොඩ් එකාට චොකලට් එකක් ගේන්නකො.”
“චොකලට් හොදද දන්නැ.” අයියා වැඩේ මගහරින්නට කතා කලාය.
“ඕන කෙනෙක්ට චොකලට්” හොදයි අක්කා තර්ක කලාය “හොද නැත්තං අපිට හරි කන්න බැරුවයැ ඔයා ගේන්නකො..”
අක්කා කිව්වොත් කිව්වාය. ඇයගේ තීරණයක් වෙනස් කිරීමට යාම ඉබ්බකුගෙන් පිහාටු ගැනීමක්ය. අයියා මදෙස බලා ඇසක් ගැසුවේය.
“මේ තව බොන්නත් මෙනව හරි ගේන්න..”
“මතක් කරල එකපාර කියන්න සැරින් සැරේ කඩේ යන්න බෑ.” අයියා සත්තමක් දැම්මේය.
“හරි අනේ දැනට එච්චරයි ආයෙ මතක් උනාම කියන්නම්.” අක්කා මේ වගේ වෙලාවල් වලදී රන්ඩුවට යන්නේ නැත. “මල්ලිත් ඉන්නවනේ ඊලග පාර මල්ලිව යවමු.”
මා දෙස බලා සිනාසෙමින් අක්කා කීවාය.
“මොනව කරන්නද ඉතින් , හ්ම්ම්ම් කමක් නැ කමක් නෑ බලමුකො.” මම කීවෙමි
“මේ මල්ලියෝ...’ අක්කා නැවතත් බටර් ගාන්නට වූයේය
“අයියා එනකම් මට පොල් ටිකක් ගාල දෙන්නකො..”
Subscribe to:
Post Comments (Atom)
මචං ෆලෝ කරන්න කෑල්ලක් දැපන්.
ReplyDeleteඅක්කා ගාණට පිරිමි දෙන්නාවම කන්ට්‍රෝල් කරලා වගේ :D
ReplyDeleteඅඩේ මචන් උඹටත් මරු අක්කෙක්නේ ඉන්නේ. උඹේ වාසනාවට ඉන්නේ එක අක්ක කෙනෙක් විතරයි නේද? මට මැවිලා පෙනුනා බන් සීන් එක. ශිරාවට ලියලා තියෙනවා.
ReplyDeleteමටත් ඔහොම අක්කෙක් හිටියනම් වලි දදා ඉන්න....... ඒ අතින් උඹ වාසනාවන්තයි. ඔය වගේ සහෝදරයෝ අතර මරා ගැනිලි නෑ බන්.
මේක හොඳ පොස්ට් එකක්. අනිත් පොස්ට් වලට යට වෙලා තිබිලා තියෙන්නේ. මගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ආවේ.
ReplyDelete