ගෙපැලේ මිත්තරයෝ

නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන

වෙලාව රාත්‍රී 10 ට පමණ ඇත.. චින්තාගෙන් දුර ඇමතුමකි. 
මම - හෙලෝ.. 
චින්තා- මේ හෙට ගමන යන්නෙ නෑලු..
මම - හෑහ් ඇයි ඒ.. 
චින්තා - ඒහෙට හොදටම වහිනවලු. ඉතිං යන්න බෑලු.

මදැයි දැන් මොනවා කරන්නද මම අනිත් පැත්ත හැරී නිදා ගත්තෙමි. 
බතලේගල යාමට සූදානම් කරගෙන තිබූ චාරිකාව අවසාන මොහොතේ අවලංගු වූයේ එසේය. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ. දින දෙකකට පසු ලැබුනේ සුභ ආරංචියකි. එයත් ගෙනාවේ චින්තාමය. 
කට්ටිය නකල්ස් යන්න හදන්නේ එනවද??
ඒකත් ගිය පාර වගේමද?
නෑ නෑ ෂුවර් යනවලු..

   මෙවර චාරිකාව සංවිධානය කරන්නේත් බතලේගල චාරිකාව සංවිධානය කළ ඉන්ද්‍රරාජ් මය. දින තුනක, රාත්‍රී  දෙකක චාරිකාවකි. වෙඩි ලුණ ගහාව  හා ලකේ ගල කන්ද නැගීම මූලික අරමුණය. 

     ගමනට හය දෙනෙක් සූදානම්ව සිටියේය. නමුත් අන්තිමට එය පස් දෙනෙකුට බැස්සේය. මට මේ චාරිකාව අලුත් වූවත් අනිත් සියලු දෙනා මේ මාර්ගයේ මීට පෙර ගමන් කර සෑහෙන්න අත්දැකීම් විද තිබුනේය. විදිද්දී අසුන්දර වූත් නැවත මතක් වෙද්දී අතිශය සුන්දර වූ ඒ අත්දැකීම් අසුරයා විසින් මෙසේ අකුරු කර තිබුනේය. 

   නියමිත දිනයේ උදෑසන 7 වන විට කොටුව බෝ ගස අසලදි මුන ගැසීමට කතිකා කර ගත්තෙමු. සියලු දෙනාම    නියමිත වෙලාවට පැමිණිය මුත් නඩේ ගුරා වූ ඉන්දුට බෝ ගස සොයා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන්නට ගිය අකරතැබ්බය ජංගම දුරකතනයන්ගේ පිහිටෙන් වලක්වා ගන්නට අපට හැකිවූයේය. මහියංගනය බස්රථයකින් හුන්නස් ගිරිය දක්වා පැමිණයෙමු. කොළඹින් 7.30 පිටත් වූ එය හුන්නස්ගිරියට යන විට  1.15 පමණ වන්නට ඇත. හුන්නස්ගිරියේදී දිවා ආහාරය ගත් අපි කුඹුක්ගොල්ල බලා පටත්වුනෙමු. කුඹුක්ගොල්ල යනු මීමුරේ ගම්මානයට යන මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මීමූරේ යනු අතිශය දුශ්කර ගම්මානයකි. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 30ක පමණ දුරත් ඇතත් ඒ මාර්ගයේ බස් රථ ගමනාගමනයක් නැත. ඒ සේවය සැලසෙන්නේ වෑන් රථ කිහිපයක් මගින්ය. අප යන විට වෑන් රථය  අතුරු සිදුරු නැතුව පිරී තිබුනේය. ඇතුලට යනවා තබා සිතන්නට වත් බැරිය. අපි පාපුවරුවේ එල්ලුනෙමු. පෙරලුන පිට හොදය. ඇතුලේ කැලී පොඩිවී යනවාට වඩා පාපුවරුවේ යාම අතිශය විනෝදජනකය.
   
 ජායාරූපගනිමින් කෑ කෝ ගසමින් යන අපි ගැන සියුම් ඉරිසියාවක් ඇතුලේ වාඩි වි සිටි පිරිසට ඇතිවන්නට ඇත. ඔවුන් අතර මීමුරේ බලා යන තවත් කොලු නඩයක් සිටියේය. විවේක ගැනීමටවෑන් රථය  ලූල්වත්ත නම් ගමේ නැවැත්වූ විට ඔවුන්ගේ අසුන අපට පිරිනැමීමට තරම් ඔවුන් කාරුණික වන්නට ඇත්තේ ඒ නිසාය. නමුත් අපි දිගටම පාපුවරුවේම ගමන් කලෙමු.

          කුඹුක්ගොල්ලෙන් බසිද්දී සවස 3න පමණ වන්නට ඇත. මෙතැන් සිට ගමන පයින්ය. දිග කලිසමෙන් කොට කලිසමට මාරු වී. ජායාරූපයක් ගැනීමෙන්ද පසු අප ගමන පිටත් වූයෙමු.

 මුල් කොටස වාහනයක් යාමට හැකි පාරක්දිගේය. මේ පාර කෙලවර පාසලක් හා කුඩා ගම්මානයක් වෙයි. වාහනයක් යාමට හැකි යයි කීවද  එම වාහනය 4WD වාහනයක් වීය යුතුය.  අද අපේ ගමනාන්තය වන්නේ වෙඩිලුණු  ගුහාවයි. අපේ මාර්ගෝපදේශකයා වූයේ ලක්දසුන් නම් බ්ලොග්  අඩවියයි.  නමුත්  තැන් කීපයකදීම ගම්වාසීන්ගෙන්  අසා පාර නිවැරදි කරගැනීමට අපට සිදු වුයේය.  ටිකෙන් ටික වනගත බව වැඩි වන්නට වූ අතර. පාර අඩි පාරක් වන තරමට කුඩා වූයේය. නමුත් ඒ වනවිටද කටුමැටි ගෙවල් හා හෙල්මැලි ක්‍රමයට සැකසූ කුඩා කුඹුරු තිබුනේය. මේ වනවිට අපි සිටියේ තරමක පල්ලමක් බසිමින්ය. ඒ පල්ලම අවසන් වූයේ සුන්දර දිය පහරක් අසලිනි.

         දියපහර තරණය කල පසු ඇත්තේ නැග්මක්ය. මේ වන විටද යන්තම් අදුර වැටීගෙන එන නිසා අපි හැකි ඉක්මනින් අප ගෙන ආ බෝතල් වලට වතුරද පුරවාගෙන කන්ද නෑගීමට පටන් ගත්තෙමු. එකදිගටම කිලෝමිටර් 3ක් පමණ කන්ද නැගීමට ඇත. ගමන් වෙහෙස කෙතරම් අධික වුවත් විවේක ගෑනීමට නොනැවතුනේ අදුර වැටීමට පෙර ගුහාව ආසන්නයට යායුතු නිසාය. නමුත් අදුර අපට වඩා වේගවත් වුයේය. අවසන් මීටර් 500 පමණ අප ගමන් ගත්තේ අදුරේය. ඒ අදුරේ අපට පාර සොයා ගැනීමට උපකාර වූයේ වවුලන්ගේ වසුරු වලින් නැගුනු දුගදය. නමුත් ගුහාව අසලට පැමිණ සුලු මොහොතකින් අපට දුගදක් ගැන වගක්වත් තිබුනේ නැත. සුලු මොහොතක් විඩා නිවා ගත් අපි ඉක්මනින් රාත්‍රී ආහාරය සකසා ගැනීමට පටන් ගත්තෙමු. මුලින්ම චොකලට් බීමක් සාදාගත්තෙමු. අද රාත්‍රී ආහාරය මැකරෝනිය.

  මමත් ඉන්දුත් කෑම සකස් කරණ අතරතුර බාසු හා චින්තා කූඩාරම සකස්කලේය. තමීර ගිනිමැලයක් ගැසුවේය. අප සතුව තිබුනේ වතුර බෝතල් 4ක් පමණි. කෑම සකස් කිරීමට බීමට හා අනිකුත් සියලුම කටයුතු සදහා අප සතුව තිබුනේ  ඒ වතුර පමණි. ගලෙන් වැටෙන වතුර බිදු එකතු කිරිම සදහා බාසු උත්සාහයක් ගත් නමුත් සෑහෙන වෙලාවකට පසු අපට එකතු කර ගැනීමට හැකිවූයේ කුඩා කෝප්පයකින් කාලක පමණ ප්‍රමාණයකි.  රාතී 8 පමණ වන විට අපි  රාතී ආහාරය සකස්කර අවසන් විය. කෑම ගැනිමට නම් ගතවූයේ විනාඩි 5ක් පමණ වූ සුලු කාලයකි. ඉන්පසු ගිණිමැලය අසලට වී වල් පල් කියවමින් සිට 8.30 පමණ වන විට නිදා ගැනීම සදහා කූඩාරමට රිංගා ගත්තෙමු..


පළමු දිනය මෙසේ අවසන් විය.

බිමට බැහැපන් වැලිමුවේ.


ගම හාමිනේට යක්ෂ දිස්ටියක් හැදුනා.. කොච්චර  ගුරුකම් කරත් සුවයක් නෑ.. 
"ඕකට ඔය එක එකා ගෙන්නල හරියන්නෑ බොල. හත්තොට්ටුවේ කට්ටඩිරාල තමයි රුසියා." ගමරාළගේ අපුච්චා කිව්වා.
ආනේ ඉතිං ගමරාළත් තකහනියේ ගිහින් කට්ටඩිරාල මුණගැහිලා කාරනේ කිව්වා..
කට්ටඩිරාළත් හා හොදයි එහෙනම් කියල මං මෙදාට එන්නම්ය.. මේ කලමනා ලක ලෑස්ති කොරල තියන්නය කියල ගමරාළවට ලොකු බඩු ලැයිස්තුවක් දුන්නා.

          ඔය ලැයිස්තුවේ ගොක්කොල, කෙහෙල් බඩ, දියගොඩ මස්, කපුරු, කට්ටකුමංජල් වගේ තොවිලෙට ඕන බඩු බාන්ඩ අස්සේ  කිතුල් රා කළයකුත් තිබුනා. ඒක ඉතිං තට්ටඩි උන්නැහේගෙ බාවිතේටනේ. වෙන එවුන්ට වගේ මංඤොක්ක අලයක් තම්බල දීල මදිනෙ කියල හිතපු ගමරාළ පුංචප්පු කොලුවට බාර දුන්නා දඩමසක් හොයාන එන්ට.. පුංචප්පු කොලුවත් පැය ගානත් බැද්දෙ කරක් ගහල වැලි මුවෙක් එලාන ආව.. ගමරාළත් බොහොම සන්තෝස වෙලා වැලි මුවාව බාර දුන්න ගමමහගේගෙ අක්කන්ඩිට. ඒ උන්දලට ඉතින් දඩමස් හිගයි නෙව. වැලිමුවා දැක්ක ගමන් ගමමහගේගෙ අක්කන්ඩිට ඉවසුම් නැතුව ගියා. කට්ටඩිරාලයි තොවිලෙට උදවු පදව් කරන එව්වොයි සේරම එකතු උනාම ආයෙ ඉතිං දඩමස් ඉතුරු වෙනව බොරු. ඇරත් ජුන්ඩක් කාල ඇතෑ.. ගමමහගේගෙ අක්කන්ඩි වැලිමුවා උයන්නෙ නැතුව අරන් ගිහින් අටුවේ හැංගුවා.  

           ඔන්න ඉතිං කට්ටඩිරාළත් ඇවිත් තොවිලෙට ලක ලෑස්ති උනා. පෙරේත ගොටුද, අර ගොටුද මේ ගොටුද නානාප්‍රකාර ජාති ඔක්කොම හදල අහවර වෙලා තොවිලෙ පටන් ගන්න කලින් පොඩ්ඩක් මහන්සි නිවා ගන්න ඕනනේ. ගමරාළ කට්ටියව අටුවට එක්කොරගෙන ගියා. කිතුල් රා කළෙත් කට්ටඩි උන්නැහේගෙ ලගට කරල ගමරාළ, ගමමහගේගෙ අක්කන්ඩිට කිව්වා දඩමස් ටිකක් අරන් එන්න කියලා.  ගමරාළට මෙතන තැක් ගැහි ගැහී ඉන්න විදිහක් නෑනේ. කොච්චර නම් දේවල් තියෙනවද හොයා බලන්න. කට්ටඩි උන්නැහේලට සලකන්න ගමමහගේගෙ අක්කන්ඩිට බාර දීල ගමරාළ ගියා ඒ වැඩ බලන්න. ගමමහගේගෙ අක්කන්ඩිත් ඉගි බිගි පාල මඤ්ඤොක්ක අලයක් තම්බල දීල දඩමස් හොද්ද යට ගැහුවා.  ඒ උනාට කට්ටඩි රාළ දැක්ක අටුවෙ හංගල තිබ්බ වැලි මුවා. ගමරාළත් කලින්ම පාරම් බාල තිබුනනේ හොද දඩමසක් ලැහැස්ති කොරාය කියලා. කට්ටඩි  උන්නැහේට තේරුනා මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලාය කියලා.  උන්නැහෙත් හා කමක් නෑ කියල කට වහගෙන හිටියා. ඔන්න ඉතිං තොවිලේ පටන් ගත්තා. කට්ටඩි රාළත් හිතේ කහටක් නැතුව යස අගේට වැඩේ කොලා. පස්සෙන්දා තොවිලේ හමාර වෙලා කට්ටඩිරාළයි ගෝලයෝ දෙන්නයි යන්නයි සූදානම. කඩුල්ල ගාවටම ගියපු කට්ටඩි රාළ ආපහු හැරිලා කයියක් කියනවා මෙන්න මෙහෙම.

                  ලතණ ලන්දේ ලතණ කාලා   
                                         මගට බැස්සද වැලිමුවේ
                  එළලු මූණට මැදපු දත් පොඩි 
                                        හොද රුවයි බන් වැලිමුවේ
                  රැයින් රැයකුත්  දවල් දෙකකුත්  
                                       මන්ද අටුවේ වැලි මුවේ 
                  මෙකී තුන්දෙන යන්ඩ යනවා 
                                      බිමට බැහැපන් වැලිමුවේ

ප: ලි

හිරුගේ පොඩි කාලෙන් මතක ටිකක් කියෙව්වට පස්සෙ මමත් අද උදේම පොත් රාක්කෙ ඇදගත්තා. එතන තිබුන පරණ සිව්දෙස සගරාවක පලවුනු ලිපියක් ආශ්‍රෙයන් තමයි මේක ලිව්වේ.

සිව්දෙස 1994 අප්‍රියෙල් 

සිව්දෙසට  ලිව්වේ:-   පුංච් බණ්ඩාර ලාහුගල
                                පර්ෂද මූලස්ථ විදුහල
                                ලාහුගල