ගෙපැලේ මිත්තරයෝ

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..


එක් සමයෙක්හි බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කල්හි....

          නෑ නෑ එහෙම නෙමෙයි..  එකමත් එක රටක රජෙක් හිටියා. රජෙක් කිව්වට හැම රජාම හොද නෑනෙ. ඔය අපිටත්  ඉන්නෙ දෙන්නෙක්ම.  බ්ලොග් ලෝකෙට එකයි. ලංකාවෙ  එකයි.  බ්ලොග් රජාත් ඉතින් අන්තපුරේ බලාගෙන ඉන්නවා විතරනේ. අනිත් රජා ගැන නම් මම දන්නෙ නෑ. 

     ඒවා මෙව්වා වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ එකෝමත් එක කාලෙක හිටපු රජෙක් ගැන. අර චන්දන කියනවා වගේ මේ රජත් කවි කියන්න බොහොම කැමතියි. කැමැත්ත තිබ්බට විතරක් මදිනේ. හැකියාවත් ඕනෙනෙ. රජත් බැරි බැරි ගාතේ ඉදලා හිටලා පද හතරක් ගලපලා කියනවා. අහන් ඉන්න අයට ඉතින් කරවිලයි කොහොඹයි එකට අඹරලා අතුරුපසට  කනවා වගේ. එත් ඉතින් රජාගේ කවියනේ අමාරුවෙන් අහගෙන ඉදලා.. වන් මෝ වන් මෝ කියලා කෑ ගහනවා. නැත්තං ඉතින් බෙල්ලනෙ යන්නෙ. 

    රජාගේ කවි කියවිල්ල වගේම තමයි රාජ්‍ය පාලනේත්. ඉතින් කාලයක් යනකොට ඇමති මණ්ඩලයටත් රජාගේ කවි කියවිල්ල වගේම රජාවත් තිත්තම වෙලා ගියා. තිත්ත උනා කියලා දෝසාබියෝගයක් ගේන්නයි කියලද. ඇමතිලා සතරකන්, අටකන් මන්ත්‍රන තියලා පැලෑනක් ගැහුවා රජාව මරවන්න කියලා. ඔය ලොකු ලොක්කෝ පැලෑන් ගැහුවට ඔව්වා කිරියාත්මක කරන්න වෙන්නේ ඉතින් සොක්කන්ටනේ. මෙදා පාරත් එහෙම්මමයි. රජාව මරන වැඩේ බාර දුන්නෙ කරණවෑමියට,  අර කොන්ඩෙ කපන්නේ. රාජකීය කොන්ඩේ කපන ගමන් රාජකීය බෙල්ලට දැලිපිහිය තියලා අදින්නය කියලා තමයි උපදෙස් ලැබුනේ. මොන උපදෙස ලැබුනත් කරණවෑමියා වෘත්තීය කොන්ඩෙ කපන්නා මිස බෙලි කපන්නා නෙමෙයිනේ. තමන්ගේ බෙල්ල බේරා ගන්න ඔනෙ නිසා බයෙන් බයෙන් තමයි වැඩේට අත ගැහුවේ.

   ඔන්න ඉතින් රජත් පාන්දරම අවදි වෙලා සිරියහන් ගබඩාවට වෙලා බලන් ඉන්නවා දවසේ වැඩ පටන් ගන්න කලින් රැවුල එහෙම කපාගෙන පිලිවෙලක් වෙන්නය කියලා. වෙනදා පාන්දරම රැවුල කපන්න ගියාට අද කරණවෑමියාට අඩියක් උස්සා තියා ගන්නත් බැර තරමට බය. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. රජත් කම්මැලි කමට ගිහින් සිරියහන් ගබඩාවේ කවුලුවෙන් රාජකීය උයන දිහා බලනවා. අප්පුච්චියේ පාන්දරම ගාලෙන් පැනලා ආපු තඩි මී හරකෙක් රාජකීය උයනේ රාජකීය ගලක අගක් අතුල්ලනවා. මේක දැක්කම රජාට කවි සිතුවිල්ලක් පහලවෙච්චි. උඟුරේ  රැල් බුරුල් එහෙම ඇරපු රජතුමා හොද සද්දෙට කවියක් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

කවියක් කියන්න කට ඇරියට දෙවනි පදේ ගලපගන්න රජාට බෑ. ටික වෙලාවක් කල්පනා කරපු රජා දෙවෙනි පදෙත් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

ඔන්න එතකොටම කරණවෑමියාත් රජතුමා කිට්ටුවට එනවා රැවුල කපන්නය කියලා.  රැවුල කපන්න කලින් දැලි පිහිය මුවහත් තියන්න එපැයි. කරණවෑමියා ඒ කාරිය කරණ කන් රජතුමා තුන්වෙනි පදෙත් කියනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

මේක ඇහිච්චච කරණවෑමියට මල මුත්තර පිට නොවුනා විතරයි. රජතුමා හතරවෙනි පදයත් කියලා රාජකීය ලීලාවෙන් කවිය අහවර කරනවා.

කර ගල ගගා ඉන්නා රඟ මම නොදනිම්ද..

        වෙන්න යන සන්තෑසිය ඔක්කොම රජතුමා දන්නවයි කියලා හිතපු  කරණවෑමියා රජතුමාගේ දෙපා මුල වැද වැටිලා සමාව ඉල්ලා තමන් කොරන්න ගිය කාරියත් කොරන්න කියපු ඈයොත් ඔක්කොම වක්කඩ කැඩුවා වගේ කියනවා. රජත් අන්දුන් කුන්දුන් වෙලා. කොහොමින් කොහොම හරි රාජකිය කුමන්ත්‍රණයක් අහුවුනානේ. 

      රජතුමා කරණවෑමියාට නං සමාව දුන්නා කියලයි ආරංචිය. ඇමති මණඩලේට නං මොනවා උනාද දන්නෙ නෑ. අර මී හරකටනං රාජකීය හරක් ගාලේ නායක මී හරකා විදිහට උසස් වීමක් ලැබුනලු.

ප:ලි.
සිව්දෙස හෝ මුතුහර සගරාවක පලවූ ලිපියක් කියවූ මතකයෙන් ලියුවෙමි. චන්දනගේ එකල රජවරුද  කවි කීහ පොස්ටුව කියවීමෙන් මතකයට නැගුනකි.   ඡායාරූපය අන්තර්ජාලයෙනි.

කෝඩු කාරයාගේ අඳෝනාව

                  තාම කකුල් දෙකත් රිදෙනවා. ඒත් මේක කියන්න ඔනේ. උන් සීනියර්, අපි ජූනියර්. කරුමෙට හරි මේක සීනියර් එකෙක් දැක්කොත් මම ඉදලා  ඉවරයි. බයවෙලා හැමදාම කට වහගෙන ඉන්නත් බෑ.  වෙන එකෙක් මේ කට්ට නොකන්න මම මේ ටික කියන්නම ඕනෙ.
        මහරගමින් බස් එකට නැංග වෙලාවේ තමයි මට මීටර් උනේ සෙට් එකෙන්ම ජූනියර්ම එකා මමයි කියලා.  මම දැන ගත්තා මට කැටේ සෙට් වෙනවා කියලා. කොටුවේ ස්ටේෂන් එකේ කොච්චියට ටිකට් ගන්න පෝලිමට ඉන්න් උනෙත් මට. ඒකත් වැරදි පෝලිමක. කෝච්චියේ යන කොට සීනියර්ලා දොරේ, අපි ඇතුලේ. දොරේ යන්න බැරි තරම් සීතල වැඩි උනාම ඇතුලට ආපු සීනියර් එවුන් අපිව බයිට් කරන්න තියා ගත්තා. අපි කිව්වට වැඩියෙන්ම මාව. මහ ලොකුවට අර පදක්කම මේ පදක්කම ගහපු, කෑම්ප් බර ගානකට ගිය, ගිනි මැල සංදර්ශණ මෙහෙයවන උන්ට සිංදු කියන්න බෑ, කෑම්ප් දෙක තුනක් ගිය මමම ඒක කරන්නත් ඔනේ. අපරාදේ කියන්න බෑ. අමාරුවෙන් සිංදුවක් පටන් ගත්තම ඇදන් යන්න නං කට්ටිය හිටියා. 
        කෝච්චියෙන් බැහැලා නැගපු බස් එකේ හිටගෙන ගිය නිසා ඒ බස් එකේදි  ප්‍රශ්නයක් උනෙත්  නෑ. බැස්සට පස්සෙත් හැමොගෙම පිටේ වගේ බෑග් තිබුන නිසා වැඩිපුර බර ගෙනියන්න  සෙට් උනෙත් නෑ. ඒ උනත් හිත් පිත් නැති අමන සීනියර්ලා මාව පාන්දර හතරට විතර පට්ට සීතලේ සීත ගඟුලට බස්සවල නෑව්වා. අනිත් උන් ඔක්කොම යන්තං මූන විතරක් තෙමා ගනිද්දී මම විතරක් ගැහි ගැහී නෑවා. ටිකක් සෙනග හිටපු නිසාද මන්දා ඊට පස්සෙ උඩ මලුවට නගින කම්ම ලොකු කරදරයක් උනේ නෑ.  සිරි පතුල වැදලා අවසන් උනාට පස්සේ උඩ මලුවේ තියෙන විශ්‍රාම ශාලාවට ගියා කෑම කන්න. පට්ට සීතල වතුරෙන් පිගන් හෝදන්න උනෙත් මට. පිගන් හෝදගෙන ආවට පස්සේ බෝතල් වලට වතුර පුරවන්න උනෙත් මට. කාල ඉවර උනාට පස්සේ කාපු තැන අස් කරලා අතුගාන්න උනෙත් මට.
      මම වැඩ කරන දිහා බලාගෙන ඉදලා සීනියර් එකෙක් කියනවා  හොද වෙලාවට අපි ජූනියර් කාලේ මෙහෙම ගමන් ගියේ නැත්තේ කියලා.  උන්ට තේරෙනවා මම මේ අමු කට්ටක් කන්නෙ කියලා. ඒත් උන්ට ගානක් නෑ. හොදම හරිය පටන් ගත්තේ පහලට බහින්න පටන් ගත්තට පස්සේ. සීනියර් උන්ගේ වැඩේම ෆොටෝ ගහන එක. අඩි දහයක් යනවා ෆොටෝ ගහනවා,  ගහක් දැක්කත්  මලක් දැක්කත් බෙට්ටක් දැක්කත් නැවතිලා ෆොටෝ ගහනවා  ඊට පස්සේ පරක්කු වෙනවා කියලා අපිව කන්න හදනවා. රත්නපුරා පාරෙන් පල්ලං බැහැගෙන එනකොට හම්බ උනා ඇහැළ කණුව කියලා එකක්. 

ඒයි කෝඩු කාරයා වැදපන් මේකට.
හොදට දණ ගහලා වැදපන්.

       චුටුස් චුටුස් ගාලා ෆොටෝ දෙකතුනක් ගන්නවා දැකපු නිසාම මේකත් මාව මඩවන්නම කරන වැඩක් කියලා තේරුණා. ඒත් මොනවා කරන්නද. උන් සීනියර් මම ජුනියර්. 
       ඇහැළ කණුවෙන් පටන් ගත්ත වැදිල්ල නැවතුනේ එරත්නටම ආවට පස්සේ. මග දිගට තිබුන සේරම බුදු පිළිම, දේවාළ, ලොකු ලොකු ගස්, නාපු තැන තිබුන ලොකු ගල් ගෙඩියට පවා මම වැන්දා. ඒක කමක් නෑ කියමුකෝ. ඒච්චර කරලත් නානකොට යන්තං දනිස්ස තෙමෙන හරියට වඩා අඟලක්වත් ගැඹුරට යන්න දුන්නෙ නෑ. උන් නං දිය බුං ගගහා නෑව. උන් දියඹේ පීනනවා, අපි ගොඩ පීනනවා. නෑවට පස්සේ කාපු තෙල් රොටියනං අවුලක් නෑ. ඒත් සීනියර් උන්, රොටිය කන්න දීපු කටේ තියන්න බැරි තරම් සැර ලුණු මිරිස, මහා රසයි කියාගෙන හෙන ගොඩක්  කාලා හාස් හූස් ගාද්දි වතුර අදින්න උනෙත් මට. 

        සැර වැඩි කමට උන් ප්ලේනටි දෙක දෙක බොනකොට මටත් ප්ලේන්ටි දෙකක් නං හම්බ උනා. එරත්නට ආපු ගමන්  ආපහු සැරයක් මාව නෑව්වා. උන් මූණ හේදුවා. ඊට පස්සේ හැම එකාටම මාව සිරීපාදේ එක්කගෙන ගියාට ස්තුති කරන්නත් උනා. ඒකලු චාරිත්තරේ.  අනේ උනුයි මායි දන්න චාරිත්තර. උන්ගේ හිතේ උන් මාව බයිට් එකට ගන්න කරන ඒවා මට තේරෙන්නෙ නෑ කියලා.  උන් හිතන්න ඇති මම මාට්ටු උනා කියලා. උන් සීනියර් නිසා මම කට වහගෙන හිටියා. මට තව බැජ් දෙක තුනක් ගහගන්න ඔනෙනෙ. ඔව්, මම හිතා ගත්තා, හිටපල්ලකෝ මමත් සීනියර් උන කාලෙක කෝඩුකාරයෙක් වන්දවන්නම්කො සිරී පාදේ. 
ප:ලි
   සති අන්තයේ බාලදක්ෂයන් කිහිප දෙනෙකු සමග සිරිපා කරුණා කලෙමු. කෝඩු කාරයෙක් සිරිපා වැන්දවූවෙමු..
ප:ප:ලි
ඌට මෙහෙම හිතෙන්න ඇති.

සඳ නොබලන් සෙනසුරාදා.

               
        මැණිකා හරි හැඩකාර කෙල්ල. ගේ දොර වැඩටත් බොහොම දස්සයි. හීන් සංදියේ ඉදන්ම එකට දුවල පැනලා නටපු පුංචා එක්ක මැණිකාගේ සම්බන්ධයක් තිබුනා. පුංචි සන්ධියේ ඉදං දැන හදුනනවා උනත් මැණිකාගේ අම්මයි අපුච්චයි පුංචගෙයි මැණිකගෙයි සම්බන්දෙට කැමති උනේ නෑ.  මැණිකගේ අම්මටයි අපුච්චටයි  ඔන උනේ වතුපිටි හරකා බාන එහෙම හොදට තියෙන හොද නම්බුකාර තැනකට මැණිකාව දීග දෙන්න. දහිරියවන්ත කොලුව උනාට මැණිකගේ අපුච්චගේ හිත දිනා ගන්න එක නං කොරන්න පුංචට බැරි උනා.

          ඔයින් මෙයින් අන්තිමට මැණිකව අල්ලපු ගමේ හිටිය හොදට වත් පොහොසත් කම් තියෙන නාඔර ඉලන්දාරියෙක් කැන්දගෙන ගියා. දීග ගියාට මොකද මැණිකගේ හිත තාමත් පුංචා ගැනමයි. ඒ උනාට මැණිකව දීග ගත්තු රංහාමි  නං මැණිකට පණ ඇරලා ආදරෙයි.  පුංචා ගැන වගක් වත් රංහාමි දන්නේ නෑ. රංහාමිත් කැත්තේ උදැල්ලේ වැඩට බොහොම දස්ස කම්මැලි කමක් නැති යස ඉලන්දාරියා. මැණීකා ගේ පිනටදෝ රංහාමිගේ කුඹුර බොහොම සාරෙට වැඩුනා.  තව ටික දොහකින් ගෙයි අටු කොටු පුරවන්න පුලුවන් නේද කියල රංහාමි බොහොම කඩිසරව කුඹුරට සාත්තු සප්පායම් කරා.  දවල් වරුවට වී කරල් කන්න එන කුරුල්ලෝ එලවන්න මැණිකත් උදවු උනා. ඒ ලැබෙන ඉස්පාසුවකට තමයි රංහාමි ඩිංගක් ඇහැ පියා ගන්නේ. ඇයි ඉතිං රාත්තිරියට වල් සත්තුන්ගෙන් කුඹුර බලා ගන්න ඒපාය. සද්දන්ත අලි රංචුවක් ගම වටේ කරකැවෙනවය කියලා රාවයකුත් ගමේ පැතිරිලා තිබුනා. අලියෙක් දෙන්නෙක් කුඹුරට බැස්සොත් ඉතින් කාලාන්තරයක් වෙච්ච මහන්සියෙන් වැඩක් නෑ නෙව.  

              ඔය හේතු කාරනා නිසා දැන් දවස් ගානක ඉදලා රාත්තිරියට ගෙදර මැණිකා විතරයි. ඔය කාරණාව කොහෙන්දෝ ආරන්චි කරගත්ත පුංචත්, රංහාමි කුඹුරට යන අල්ලපනල්ලේ මැණිකගේ ගෙට රිංගන්න තියා ගත්තා. රංහාමි තමන්ට කොච්චර හොදට සැලකුවත් මැණිකට කොච්චරවත් පුංචව මතක් වෙනවා.  ඉතිං පුංචව දැක්කම  මැණිකටත් ඉහේ මලක් පිපුනා වගේ.  දවස් ගානක් තිස්සෙම මේ විදිහට පුංචා ,රංහාමි කුඹුරට යනකං ඉදලා මැණිකාගේ පැළට රිංගනවා. මැණිකත් බොහොම කැමැත්තෙන් පුංචට ආදරසත්කාර කරනවා. මැණිකා දීග යන්න කලින් තිබුන තහංචි දැන් නෑනේ. ඉතින් ඔය ආපු කීප දොහේම වගේ පුංචට මැණිකගේ පැදුරත් පෑගුනා. 

             එදා  ඉතිං පුර හඳ බොහෝම සාරෙට පායලා තිබුන දවසක්, පුංචත් හොරෙන් හොරෙන් මැණිකගේ ගේ මානෙට කිට්ටු කරලා බලන් ඉන්නවා රංහාමි යනකං. පුංචා හැංගිලා බලන් උන්නේ රංහාමිගේ හරක් මඩුව පිටි පස්සේ. එදා රංහාමි කුඹුරට යන්න ටිකක් විතර සුනංගු උනා. පුංචත් මදුරුවෝ තල තල බලං හිටියා. පුංචට දැන් හොදටම තෙහෙට්ටුයි. හරක් මඩුවේ ගදයි, ගොම්මනේ මදුරුවෝ කාලයි, ඒ මදිවට මැණිකාගෙ පැදුර පාගන්න තියෙන හදිස්සියයි සේරම එක්කාසු වෙලා පුංචා ඉවසුම් නැතුව හිටියේ. ඔන්න යාන්තං රංහාමි ගියා කියලා මැණිකා සංඥාවක් දුන්නා. කළබල වෙච්ච පාර පුංචට උන්හිටි තැනුත් අමතක උනා. දඩිබිඩියේ ගෙට රිංගන්න දගලපු දැගලිල්ලට දබොක් ගාල ඇදගෙන වැටිච්චි. ඒ සද්දෙට මැණිකත් දුවගෙන ආපි. අනේ බැලින්නං පුංචා ඇදගෙන වැටිලා තියෙන්නේ අලි ගොම තැබ්බක් උඩට. පුංචගේ වස්තරෙන් ගන්න දෙයක් නෑ. මැණිකත් පුංචට මාරු කරගන්න සරමක් දීලා ගොම ගෑවිච්ච සරම  ගේ පිටිපස්සේ කැන්ද ගහේ අත්තක එල්ලුවා. 

         ඔන්න එතකොටම මිදුල දිහාවෙන් සද්දයක් ආවා. රංහාමි ගෙදර ඇවිත්. හත්වලාමයි පුංචට දෙයියෝ බුදුන් සිහිඋනා. ඌ විගහට කැලේ පැනපි.  මැණිකත් මුකුත් නොදන්නවා වගේ ඉස්සරහට ගිහින් රංහාමිව පිළිගත්තා. රංහාමි අමතක වෙච්ච මොකක්දෝ අරගෙන ආපහු කුඹුරට යන්න එලියට බැස්සා. මිදුලට වැටිල තියෙන හඳ එළිය දැක්ක රංහාමි, මැණිකෙටත් කතා කරා හඳ බලන්න. ඔන්න එතකොට තමයි මැණිකෙට දෙයියෝ බුදුන් සිහි උනේ. හඳ පායලා තියෙන්නේ පිළිකන්නේ තියෙන කැන්ද ගහට උඩින්. රංහාමි හඳ බලන්න පිළිකන්නට ගියොත් කැන්ද ගහේ වනලා තියෙන පුංචගේ ගොම සරම පේනව. ගෑනුන්ගේ මොලේ හැදි මිටේ දිගය කිව්වට මේ වගේ වෙලාවල් වලට ඒක හබලකටත් වඩා දික් වෙනවා.  එදා සෙනසුරාදා  දවසක්. විගහට රංහාමි ගාවට ගිය මැණිකා බොහොම ලස්සනට තාලයට ඇදලා පැදලා කවියක් කිව්වා.

දුක දුරු බදාදා
සඳ නොබලන් සෙනසුරාදා
දුටොත් සඳ ඉරිදා
ඊට පසුදා වේය නිරිඳා

අනේ ඉතින් කවිය අහපු රංහාමිත් එහෙනං හෙටම හඳ බලනවා කියලා කුඹුරට යන්න පිටත් උනා.

ප:ලි. 

කලකට පෙර  සිව්දෙස හෝ මුතුහර  සගරාවක පලවී තිබූ ලිපියක් කියවූ මතකයෙන් ලිව්වෙමි. සගරාව සොයා ගැනීමට නොහැකි විය.  

දෙන්නෙ නෑ කොහොමවත් දෙන්නෙ නෑ මියදෙන්න.



හදිසි අනතුරු වාට්ටුවේ -  දැඩි සත්කාර ඒකකයේ..
අතිශයින් අසාධ්‍යව - ලෙඩ ඇදේ වැතිර ඇත..

අමරණියයි සිතු අපේ පෙම් ජීවිතය 

නොදැන රෝ නිධානය -  මම කුමක්  කරන්නද.
නෑ ඇගෙන් පිළිතුරක් - දන්නෙ නෑ මා කිසිත්

කලක සිට සැගව ඉද ඔඩු දිවූ රෝගයක් -  වැදිලාද හදවතට විස පෙවූ හීයක්.
දැන හෝ නොදැන හෝ මා අතින් වූ දෙයක් - මට හිතා ගන්න බැරි මොනයම්ම හේතුවක්.  

දන්නෙ නෑ කිසි දෙයක් - ගොලුවෙලා ඇය තවත්

දෙන්නෙ නෑ කොහොමවත් දෙන්නෙ නෑ මියදෙන්න. 

කෙසේ හෝ වෙර දරා පිඹිමි ජීවන හුස්ම 

මියදෙන්න වෙර දරණ ඇගේ පෙම් හදවතට..



නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන- දෙවන දිනය.

            සැපට නින්ද ගියේය. පුදුමයකට මෙන් වෙඩිලුණු ගුහාව අසලට එනවිට දැනුන වවුල් ගද ඉන්පසු දැනුනේම නැත. අප සිතුවේ ගන්දස්කාරයේ නහය බැදගෙන නිදා ගැනීමට සිදු වනු ඇතැයි කියාය. නමුත් ගදක් පිලිබද වගක් වත් නොමැතිව නිදා ගැනීමට අපට හැකි වූයේය. උදෑසන අවදි වන විට 6 පමණ වන්නට ඇත.

 කූඩාරම ගලවාගෙන බඩු බාහිරාදිය සියල්ල බෑග් වලට දමා සූදානම් වූනෙමු.  කට සේදීමටවත් වතුර බිදක් නොමැත. ජලය ලබා ගැනීමට නම් ඊයේ හමුවූ දියපහර තෙක් පල්ලම් බැසිය යුතුය. ඉතින් ජලය සෙවීම පසුවට කල් දමා අපි වෙඩිලුණු ගුහාවට රිංගුවෙමු.

 දනක් උසට වවුල් බෙටි ගොඩේ එරෙමින් ගුහාව ඇතුලට ගියෙමු. සෙරෙප්පු දමාගෙන යා නොහැකිය. ඒ වෙලාවේ නම් පිලිකුලක් දැනුනේ නැත. සෙරෙප්පු ගලවාගෙන ඇතුලටම රිංගුවෙමු. ගුහාව ඇතුලේ කදුලු ගෑස් ගැසුවා වැනිය. හුස්ම ගැනීමේ අපහසුවක් සමග තරමක ඇස් දැවිල්ලක්ද සෑදුනේය. ඒ නිසා ගුහාවේ ඇතුලටම යාම අපහසු කාර්යයකි. ගුහාව අතුලත පිරික්සීමෙන් පසු අපි ගුහාව වටේ කන්ද උඩට යාමට උත්සාහ කලෙමු. ටික දුරක් යද්දී හමුවුනේ දෙබර වදයකි. එය කුඩා පැල ගසක අතපොවන මානයේ සාදා තිබුනේය. ඉන්දු ඒ අසලටම ගියේ ජායාරූපයක් ගැනීමටය. අපි කෝකටත් තරමක් ඈතට වී බලා සිටියෙමු. 

 හිමින් සීරුවේ දෙබරයට ලංවූ ඉන්දු දුවන නොදුවන ගානට අපවෙත ආවේය.

"දෙන්නෙක් එලියට ඇවිත් බැලුව බන්".

              ඇයි උන් ආවේ යැයි සොයා බැලීමට අපට උවමනාවක් තිබුනේ නැත. ඉන්දු ආවාට වඩා දෙගුණයක වේගයෙන් අපි ගුහාව ලගය.  බෑග් කරගසා ගත් අපි දියපහර දක්වා පල්ලම් බැසීමට පටන් ගත්තෙමු. වනය අතිශයින් සුන්දරය. විවිධාකාරයේ ගස් වැල් මල් වලින් පොහොසත්ය. සුළගට සෙලවන ගස් වලින් පිනි බිදු ඇද වැටුනේ කුඩා වැස්සක්  පරිද්දෙනි. වරින් වර පිණි බිදු වලින් තෙමීම සිතට ඇතිකලේ අමුතුම චමත්කාරජනක හැගීමක්ය.

        දියපහර අසලට පැමිණි අප පිරිසිදු වී උදෑසන ආහාරය ගත්තෙමු. ඒ සමපෝෂ, කෙසෙල්ගෙඩි, චොකලට් සමග චොකලට් බීමය.



       අද දවසේ අපගේ ඉලක්කය ලකේ ගල කදු මුදුනය. ඒ සදහා මීමුරේ ගම්මානයට යා යුතුය.  කුඹුක්ගොල්ල ගම්මානයේ සිට මීමුරේ  යාම සදහා කෙටි පාරක් ගම්වැසියකු විසින් අපට පෙන්වා දුන්නේය. එය වනය මැදින් වැටුන අඩි පාරක්ය. පැයක් පමණ ඒ මාර්ගයේ ගමන් කළ අපිට මුණ ගැසුනේ තවත් සොදුරු ගංගාවකි. තටාකයක් ආකාරයට සකස් වී තිබුනු එය දුටු වනම කාටත් නැවත නෑමේ අවශ්‍යතාවක් ඇතිවුනේය.


         එම ගංගාව තරණය කර ගංගාවේ ශබ්දය ඇසෙන නමුත් ගංගාව නොපෙනෙන මානයෙන් වැටී තිබුන අඩි පාර දිගේ ටික දුරක් ඉදිරියට ගමන් කලෙමු. ඒ අඩි පාර ගමන් කලේ තරමක  U හැඩයකටය. වැඩිදුරක් යාමට පෙර අපට තවත් ගංගාවක් හමුවුනේය.

"මදැයි.. අපි ආපහු කැරකිලා අර ගග ගාවටමද ආවේ"..

"නෑ හොදට බලපන් මේක ගලන්නේ අනිත් පැත්තට"..

         අප මුලින් තරණය කල ගංගාව ගලන දිශාවට විරුද්ධ දිශාවට ගලන තවත් ගංගාවකි. එම  ගංගාවන් දෙක  එකක්ව ගලා යන්නේය. යනුවෙන් අපි උපකල්පනය කලෙමු. නමුත් ඒ උපකල්පනය නිවැරදිදැයි දැනගැනීමට ඒ වෙලාවේ එතරම්ම උවමනාවක් තිබුනේ නැත. උවමනාව එන විට ආපසු හැරී යාමට තරම් දුර වැඩිය.
දෙවන ගංගාවෙන් පසු මිනිස් වාසය තරමක් දක්නට ලැබුනේය. නැවතත් 4WD වාහන ගමන් කල හැකි මාර්ගයකට වැටුනේය.  මීමුරේ ගම්මානය අසලට එනවිට පාර කොන්ක්‍රීට් දමා සකස්කර තිබුනේය. මීමුරේ යනු ඉතා කුඩා ගම්මානයක්ය. 90 දශකයේ පමණ ලංකාවේ දුශ්කරම ගම්මානය ලෙසද නම් කර තිබුනේය. දැන් නම් ඒ තත්වය නැත ගමට එන්නට පාරක් සෑදීමෙන් පසු සියල්ල ඉක්මනින් දියුණු වී තිබේ.

    මීමුරේ ගම්මානයට ලංවද්දී අපගේ සියලු බලාපොරොත්තු කඩ කරමින් වර්ෂාවක් පටන් ගත්තේය. වැස්සේ ලකේ ගල නැගීමට නොහැක. ලකේ ගල නැගීමට නම් යහපත් කාලගුණයක් අත්‍යාවශයය. ඒ එය දළ බෑවුමක් සහිත නිසාත්, වැස්සත් සමග අධිකව ලිස්සන සුලු වීමත් නිසාය.

 ඉහත ඡායාරූප අසුරයාෙග් බුකිෙයන් ෙෙසාරකම් ෙෙකරුෙවමි.  
      ලකේ ගල නැගීමේ අදහස අත්හැර දැමූ අපි මීමුරේ සිට නාරංගමුව දක්වා යාමට තීරණය කලෙමු. මීමුරේ හා නාරංගමුව ගම්මාන යාව ඇත්තේ වනය මැදින් වැටුනු  අඩි පාරකින්ය. එය සැතපුම් අටක පමණ ගමනක්ය. අපි වැස්සේම ගමන ආරම්භ කලෙමු. ගම්මානය පසු කල වහාම අපට හමු වූයේ ගන වනයයි. ස්භාවයෙන්ම අදුරු වනය වැස්ස නිසා තවත් අදුරු වී තිබුනේය. අඩිය තබන තබන වාරයක් පාසා අප පිලිගැනීමට මෙන් බලා සිටියේ කූඩැල්ලන්ය. එක් කූඩැල්ලකු ගලවන්නට නවතින විට තවත් දහයක් පමණ එල්ලෙන්නේය.  එම නිසාදෝ වනය මැදින් ගමන ආරම්භ කර සුලු වේලාවකින්ම අප සියලු දෙනාගේම පාදයන්හි තැන් තැන් වල ලේ බිදු ගලා යන්නට වූයේය.  අපට හොරා පෙනෙන මානයෙන් ඉහලට නැගගත් කූඩැල්ලෝද හිග නොවීය.
වැස්සට තෙමීම නිසා අපගේ ගමන් මලු තිබුනා මෙන් දෙගුණයක බර පෙන්වන්නට වූයේය. වෙහෙස නිවා ගන්නට සුලු මොහොතක් හෝ නැවතුන විට මහන්සියට වඩා තදින් සීතල දැනෙන්නටද විය. අප සිදුවූයේ සෙමින් සෙමින් නතරවීමකින් තොරව දිගටම ගමන් කිරීමටය. තැනිතලා පෙදෙස්වල හා පල්ලම් සහිත පෙදෙස් වල නම් එය එතරම් අපහසු වූයේ නැත. නමුත් දළ බෑවුම් දිගේ ඉහලට නගින විට නම් එය ඉතාමත් අසීරු කාර්යයකි.

    කූඩැල්ලන්ට අමතරව අපට වැඩියෙන්ම හමුවූයේ කක්කුට්ටන්ය. අප යන මාර්ගයේ සිටි කක්කුට්ටෝ අපගේ අඩි ශබ්දයට මුල් අස්සට හෝ ගල් අස්සට රිංගා ගත්තේය.  සෑහෙන දුරක් ගමන් කළ පසු ඉදිරියෙන්ම ගමන් කල බාසු විසින් අඩි පාරේ මැද්දටම වාගේ සිටි ගෝනුස්සසෙක් පෙන්නුවේය. තද කොල පැහැයෙන් යුතු වූ ගෝනුස්සා අපගේ අල්ලකට වඩා විශාල වූයේය. අපි වටවී ගෝනුස්සා නිරීක්ෂණය කලෙමු. අපහු කවදා දකින්නද?? ඡායාරූපයක් ගැනීමට අවශ්‍යතාවක් තිබුනද මහ වැස්සේ කැමරාවන් එලියට ඇදිමට හැකියාවන් තිබුනේ නැත.


      ගෝනුස්සා නරඹා වැඩි දුරක් යාමට ලැබුනේ නැත. දෙවන ගෝනුස්සා පාර මැදට වී සිටියේය. පළමුවැන්නා හොදින් නීරීක්ෂණය කල නිසා දෙවැන්නා ගැන අපි එතරම් සැලකිල්ලක් නොදැක්වූවෙමු. නමුත් තවත් අඩි කිහිපයකට එහායින් තුන්වැන්නාත් දුටු විට ගෝනුස්සන් ගැන කෙසේ වෙතත් දැඩි මාර්ගය ගැන අවධානයකින් ගමන් කිරීමට පටන් ගත්තෙමු. ඒ නිසාමදෝ කිලෝමීටරයකට අඩු දුරකදී ගෝනුස්සන් දස දෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් දැකගැනීමට අවස්ථාව ලැබුනේය. ගෝනුස්සන්ට ඇති බියට වඩා මහන්සිය වැඩි වූයෙන් අපි ගල්ගොඩක් උඩ වාඩිවීඅප ගෙනගිය  බිස්කට් කා දිවුල් කිරි බිව්වෙමු. මේ වන විටත් වැස්ස පැවතුන අතර අපි යන්තම් ගස් සෙවනට මුවා වි ගිමන් හැරියෙමු. නමුත් වැඩි වේලාවක් එකතැන සිටින විට සීතල දැනෙන්නට පටන් ගන්නා බැවින් නැවතත් ඉක්මනින්ම ගමන් ආරම්භ කලෙමු.  අවසානයේ මිනිස් වාසස්ථාන ළග බව දැනෙනා වූ මානයට එනවිට ගිමන් හැරි ස්ථානයේ සිට පැයක පමණ කාළයක් ගතවී තිබුනේය. එතැන් සිට දීර්ඝ බැස්මකි. තවත් පැය බාගයකට පමණ පසු අප ගම්මානයට පැමිණියෙමු. මේ නාරංගමුව ගම්මානයයි. මීමුරේ සිට නාරංගමුව දක්වා දුර සැතපුම් 8(කිලෝ මීටර් 13)පමණ වේ ඒ සම්පූර්ණ දුරම මහ වැස්සේ කැලේ මැද්දෙන් පා ගමනින් පැමිණීයෙමු.
     
         අප වඩා කැමත්තක් දැක්වූයේ මිනිස් වාසයෙන් ඈත්ව වනගතව කදවුරු බදින්නටය. නමුත් අධික වර්ශාව නිසා එසේ කිරීමට නොහැකි හෙයින්  පන්සට හෝ ප්‍රජා ශාලාවක යෑමට තීරණය විය. වැසිකිලි පහසුකම් තිබීමත්, ජල පහසුකම් තිබීමත්, සමහර විට කෑමත් ලබා ගැනීමට හැකිවේයයි සිතා අපි මුලින්ම ගියේ පන්සලටය. පන්සලෙන් අපව උණූසුම් ලෙස පිලිගත් අතර බලාපොරොත්තු වු සියල්ලට අමතරව තේ කෝප්පයක්ද ලැබුනේය. අපි පන්සලේ බණ මඩුවේ කූඩාරම් ගසාගත්තෙමු.  

රාත්‍රී ආහාරය පන්සලෙන්ය. අප සතුව තිබූ බිස්කට් හා නූඩ්ල්ස් පැකට් අපි පන්සලට පූජා කලෙමු. 

       සුවදායක නින්දකින් පසු අවදි වූ අපි උදෑසන 7.30 ට නාරංහමුවෙන් පල්ලේගම දක්වා යන වෑන් රථයට නැගීමට කල්වේලා ඇතිව සූදානම් වූයෙමු. 7.40 පමණ වෑන් රථය පියත් වූ අතර එම වෑන් රථය මාතලේ නගරය දක්වාම ගමන් කරණ බව පැවසු හෙයින් මාතලේ දක්වාම වෑන් රථයෙන් ගමන් කලෙමු.  පල්ලේගම සිට මාතලේ දක්වා වූ මාර්ගය අතිශය සුන්දරය. පිටවල තැන්න පතන හා රිවස්ටන් කන්ද මිදුමෙන් වැසි තිබුනේය.  මාතලේ සිට නුවර බසයකින් නුවරටද ඉන්පසු නුවර සිට මහරගම බලා යන බසයකින් මහරගම දක්වාද පැමිණිමෙන් අපගේ චාරිකාව නිමා විය.   


නකල්ස් කදු වැටිය- වෙඩි ලුණු ගුහාව (nitro cave) පා ගමන

වෙලාව රාත්‍රී 10 ට පමණ ඇත.. චින්තාගෙන් දුර ඇමතුමකි. 
මම - හෙලෝ.. 
චින්තා- මේ හෙට ගමන යන්නෙ නෑලු..
මම - හෑහ් ඇයි ඒ.. 
චින්තා - ඒහෙට හොදටම වහිනවලු. ඉතිං යන්න බෑලු.

මදැයි දැන් මොනවා කරන්නද මම අනිත් පැත්ත හැරී නිදා ගත්තෙමි. 
බතලේගල යාමට සූදානම් කරගෙන තිබූ චාරිකාව අවසාන මොහොතේ අවලංගු වූයේ එසේය. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ. දින දෙකකට පසු ලැබුනේ සුභ ආරංචියකි. එයත් ගෙනාවේ චින්තාමය. 
කට්ටිය නකල්ස් යන්න හදන්නේ එනවද??
ඒකත් ගිය පාර වගේමද?
නෑ නෑ ෂුවර් යනවලු..

   මෙවර චාරිකාව සංවිධානය කරන්නේත් බතලේගල චාරිකාව සංවිධානය කළ ඉන්ද්‍රරාජ් මය. දින තුනක, රාත්‍රී  දෙකක චාරිකාවකි. වෙඩි ලුණ ගහාව  හා ලකේ ගල කන්ද නැගීම මූලික අරමුණය. 

     ගමනට හය දෙනෙක් සූදානම්ව සිටියේය. නමුත් අන්තිමට එය පස් දෙනෙකුට බැස්සේය. මට මේ චාරිකාව අලුත් වූවත් අනිත් සියලු දෙනා මේ මාර්ගයේ මීට පෙර ගමන් කර සෑහෙන්න අත්දැකීම් විද තිබුනේය. විදිද්දී අසුන්දර වූත් නැවත මතක් වෙද්දී අතිශය සුන්දර වූ ඒ අත්දැකීම් අසුරයා විසින් මෙසේ අකුරු කර තිබුනේය. 

   නියමිත දිනයේ උදෑසන 7 වන විට කොටුව බෝ ගස අසලදි මුන ගැසීමට කතිකා කර ගත්තෙමු. සියලු දෙනාම    නියමිත වෙලාවට පැමිණිය මුත් නඩේ ගුරා වූ ඉන්දුට බෝ ගස සොයා ගැනීමට නොහැකි වීමෙන් සිදුවන්නට ගිය අකරතැබ්බය ජංගම දුරකතනයන්ගේ පිහිටෙන් වලක්වා ගන්නට අපට හැකිවූයේය. මහියංගනය බස්රථයකින් හුන්නස් ගිරිය දක්වා පැමිණයෙමු. කොළඹින් 7.30 පිටත් වූ එය හුන්නස්ගිරියට යන විට  1.15 පමණ වන්නට ඇත. හුන්නස්ගිරියේදී දිවා ආහාරය ගත් අපි කුඹුක්ගොල්ල බලා පටත්වුනෙමු. කුඹුක්ගොල්ල යනු මීමුරේ ගම්මානයට යන මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මීමූරේ යනු අතිශය දුශ්කර ගම්මානයකි. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 30ක පමණ දුරත් ඇතත් ඒ මාර්ගයේ බස් රථ ගමනාගමනයක් නැත. ඒ සේවය සැලසෙන්නේ වෑන් රථ කිහිපයක් මගින්ය. අප යන විට වෑන් රථය  අතුරු සිදුරු නැතුව පිරී තිබුනේය. ඇතුලට යනවා තබා සිතන්නට වත් බැරිය. අපි පාපුවරුවේ එල්ලුනෙමු. පෙරලුන පිට හොදය. ඇතුලේ කැලී පොඩිවී යනවාට වඩා පාපුවරුවේ යාම අතිශය විනෝදජනකය.
   
 ජායාරූපගනිමින් කෑ කෝ ගසමින් යන අපි ගැන සියුම් ඉරිසියාවක් ඇතුලේ වාඩි වි සිටි පිරිසට ඇතිවන්නට ඇත. ඔවුන් අතර මීමුරේ බලා යන තවත් කොලු නඩයක් සිටියේය. විවේක ගැනීමටවෑන් රථය  ලූල්වත්ත නම් ගමේ නැවැත්වූ විට ඔවුන්ගේ අසුන අපට පිරිනැමීමට තරම් ඔවුන් කාරුණික වන්නට ඇත්තේ ඒ නිසාය. නමුත් අපි දිගටම පාපුවරුවේම ගමන් කලෙමු.

          කුඹුක්ගොල්ලෙන් බසිද්දී සවස 3න පමණ වන්නට ඇත. මෙතැන් සිට ගමන පයින්ය. දිග කලිසමෙන් කොට කලිසමට මාරු වී. ජායාරූපයක් ගැනීමෙන්ද පසු අප ගමන පිටත් වූයෙමු.

 මුල් කොටස වාහනයක් යාමට හැකි පාරක්දිගේය. මේ පාර කෙලවර පාසලක් හා කුඩා ගම්මානයක් වෙයි. වාහනයක් යාමට හැකි යයි කීවද  එම වාහනය 4WD වාහනයක් වීය යුතුය.  අද අපේ ගමනාන්තය වන්නේ වෙඩිලුණු  ගුහාවයි. අපේ මාර්ගෝපදේශකයා වූයේ ලක්දසුන් නම් බ්ලොග්  අඩවියයි.  නමුත්  තැන් කීපයකදීම ගම්වාසීන්ගෙන්  අසා පාර නිවැරදි කරගැනීමට අපට සිදු වුයේය.  ටිකෙන් ටික වනගත බව වැඩි වන්නට වූ අතර. පාර අඩි පාරක් වන තරමට කුඩා වූයේය. නමුත් ඒ වනවිටද කටුමැටි ගෙවල් හා හෙල්මැලි ක්‍රමයට සැකසූ කුඩා කුඹුරු තිබුනේය. මේ වනවිට අපි සිටියේ තරමක පල්ලමක් බසිමින්ය. ඒ පල්ලම අවසන් වූයේ සුන්දර දිය පහරක් අසලිනි.

         දියපහර තරණය කල පසු ඇත්තේ නැග්මක්ය. මේ වන විටද යන්තම් අදුර වැටීගෙන එන නිසා අපි හැකි ඉක්මනින් අප ගෙන ආ බෝතල් වලට වතුරද පුරවාගෙන කන්ද නෑගීමට පටන් ගත්තෙමු. එකදිගටම කිලෝමිටර් 3ක් පමණ කන්ද නැගීමට ඇත. ගමන් වෙහෙස කෙතරම් අධික වුවත් විවේක ගෑනීමට නොනැවතුනේ අදුර වැටීමට පෙර ගුහාව ආසන්නයට යායුතු නිසාය. නමුත් අදුර අපට වඩා වේගවත් වුයේය. අවසන් මීටර් 500 පමණ අප ගමන් ගත්තේ අදුරේය. ඒ අදුරේ අපට පාර සොයා ගැනීමට උපකාර වූයේ වවුලන්ගේ වසුරු වලින් නැගුනු දුගදය. නමුත් ගුහාව අසලට පැමිණ සුලු මොහොතකින් අපට දුගදක් ගැන වගක්වත් තිබුනේ නැත. සුලු මොහොතක් විඩා නිවා ගත් අපි ඉක්මනින් රාත්‍රී ආහාරය සකසා ගැනීමට පටන් ගත්තෙමු. මුලින්ම චොකලට් බීමක් සාදාගත්තෙමු. අද රාත්‍රී ආහාරය මැකරෝනිය.

  මමත් ඉන්දුත් කෑම සකස් කරණ අතරතුර බාසු හා චින්තා කූඩාරම සකස්කලේය. තමීර ගිනිමැලයක් ගැසුවේය. අප සතුව තිබුනේ වතුර බෝතල් 4ක් පමණි. කෑම සකස් කිරීමට බීමට හා අනිකුත් සියලුම කටයුතු සදහා අප සතුව තිබුනේ  ඒ වතුර පමණි. ගලෙන් වැටෙන වතුර බිදු එකතු කිරිම සදහා බාසු උත්සාහයක් ගත් නමුත් සෑහෙන වෙලාවකට පසු අපට එකතු කර ගැනීමට හැකිවූයේ කුඩා කෝප්පයකින් කාලක පමණ ප්‍රමාණයකි.  රාතී 8 පමණ වන විට අපි  රාතී ආහාරය සකස්කර අවසන් විය. කෑම ගැනිමට නම් ගතවූයේ විනාඩි 5ක් පමණ වූ සුලු කාලයකි. ඉන්පසු ගිණිමැලය අසලට වී වල් පල් කියවමින් සිට 8.30 පමණ වන විට නිදා ගැනීම සදහා කූඩාරමට රිංගා ගත්තෙමු..


පළමු දිනය මෙසේ අවසන් විය.

බිමට බැහැපන් වැලිමුවේ.


ගම හාමිනේට යක්ෂ දිස්ටියක් හැදුනා.. කොච්චර  ගුරුකම් කරත් සුවයක් නෑ.. 
"ඕකට ඔය එක එකා ගෙන්නල හරියන්නෑ බොල. හත්තොට්ටුවේ කට්ටඩිරාල තමයි රුසියා." ගමරාළගේ අපුච්චා කිව්වා.
ආනේ ඉතිං ගමරාළත් තකහනියේ ගිහින් කට්ටඩිරාල මුණගැහිලා කාරනේ කිව්වා..
කට්ටඩිරාළත් හා හොදයි එහෙනම් කියල මං මෙදාට එන්නම්ය.. මේ කලමනා ලක ලෑස්ති කොරල තියන්නය කියල ගමරාළවට ලොකු බඩු ලැයිස්තුවක් දුන්නා.

          ඔය ලැයිස්තුවේ ගොක්කොල, කෙහෙල් බඩ, දියගොඩ මස්, කපුරු, කට්ටකුමංජල් වගේ තොවිලෙට ඕන බඩු බාන්ඩ අස්සේ  කිතුල් රා කළයකුත් තිබුනා. ඒක ඉතිං තට්ටඩි උන්නැහේගෙ බාවිතේටනේ. වෙන එවුන්ට වගේ මංඤොක්ක අලයක් තම්බල දීල මදිනෙ කියල හිතපු ගමරාළ පුංචප්පු කොලුවට බාර දුන්නා දඩමසක් හොයාන එන්ට.. පුංචප්පු කොලුවත් පැය ගානත් බැද්දෙ කරක් ගහල වැලි මුවෙක් එලාන ආව.. ගමරාළත් බොහොම සන්තෝස වෙලා වැලි මුවාව බාර දුන්න ගමමහගේගෙ අක්කන්ඩිට. ඒ උන්දලට ඉතින් දඩමස් හිගයි නෙව. වැලිමුවා දැක්ක ගමන් ගමමහගේගෙ අක්කන්ඩිට ඉවසුම් නැතුව ගියා. කට්ටඩිරාලයි තොවිලෙට උදවු පදව් කරන එව්වොයි සේරම එකතු උනාම ආයෙ ඉතිං දඩමස් ඉතුරු වෙනව බොරු. ඇරත් ජුන්ඩක් කාල ඇතෑ.. ගමමහගේගෙ අක්කන්ඩි වැලිමුවා උයන්නෙ නැතුව අරන් ගිහින් අටුවේ හැංගුවා.  

           ඔන්න ඉතිං කට්ටඩිරාළත් ඇවිත් තොවිලෙට ලක ලෑස්ති උනා. පෙරේත ගොටුද, අර ගොටුද මේ ගොටුද නානාප්‍රකාර ජාති ඔක්කොම හදල අහවර වෙලා තොවිලෙ පටන් ගන්න කලින් පොඩ්ඩක් මහන්සි නිවා ගන්න ඕනනේ. ගමරාළ කට්ටියව අටුවට එක්කොරගෙන ගියා. කිතුල් රා කළෙත් කට්ටඩි උන්නැහේගෙ ලගට කරල ගමරාළ, ගමමහගේගෙ අක්කන්ඩිට කිව්වා දඩමස් ටිකක් අරන් එන්න කියලා.  ගමරාළට මෙතන තැක් ගැහි ගැහී ඉන්න විදිහක් නෑනේ. කොච්චර නම් දේවල් තියෙනවද හොයා බලන්න. කට්ටඩි උන්නැහේලට සලකන්න ගමමහගේගෙ අක්කන්ඩිට බාර දීල ගමරාළ ගියා ඒ වැඩ බලන්න. ගමමහගේගෙ අක්කන්ඩිත් ඉගි බිගි පාල මඤ්ඤොක්ක අලයක් තම්බල දීල දඩමස් හොද්ද යට ගැහුවා.  ඒ උනාට කට්ටඩි රාළ දැක්ක අටුවෙ හංගල තිබ්බ වැලි මුවා. ගමරාළත් කලින්ම පාරම් බාල තිබුනනේ හොද දඩමසක් ලැහැස්ති කොරාය කියලා. කට්ටඩි  උන්නැහේට තේරුනා මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලාය කියලා.  උන්නැහෙත් හා කමක් නෑ කියල කට වහගෙන හිටියා. ඔන්න ඉතිං තොවිලේ පටන් ගත්තා. කට්ටඩි රාළත් හිතේ කහටක් නැතුව යස අගේට වැඩේ කොලා. පස්සෙන්දා තොවිලේ හමාර වෙලා කට්ටඩිරාළයි ගෝලයෝ දෙන්නයි යන්නයි සූදානම. කඩුල්ල ගාවටම ගියපු කට්ටඩි රාළ ආපහු හැරිලා කයියක් කියනවා මෙන්න මෙහෙම.

                  ලතණ ලන්දේ ලතණ කාලා   
                                         මගට බැස්සද වැලිමුවේ
                  එළලු මූණට මැදපු දත් පොඩි 
                                        හොද රුවයි බන් වැලිමුවේ
                  රැයින් රැයකුත්  දවල් දෙකකුත්  
                                       මන්ද අටුවේ වැලි මුවේ 
                  මෙකී තුන්දෙන යන්ඩ යනවා 
                                      බිමට බැහැපන් වැලිමුවේ

ප: ලි

හිරුගේ පොඩි කාලෙන් මතක ටිකක් කියෙව්වට පස්සෙ මමත් අද උදේම පොත් රාක්කෙ ඇදගත්තා. එතන තිබුන පරණ සිව්දෙස සගරාවක පලවුනු ලිපියක් ආශ්‍රෙයන් තමයි මේක ලිව්වේ.

සිව්දෙස 1994 අප්‍රියෙල් 

සිව්දෙසට  ලිව්වේ:-   පුංච් බණ්ඩාර ලාහුගල
                                පර්ෂද මූලස්ථ විදුහල
                                ලාහුගල
 

බලනගල කන්ද පා ගමන.


     පා ගමන් යෑම අපට අලුත් දෙයක් නොවේ. බාල දක්ෂ වලට පින්සිදු වන්නට විවිධාකාරයේ පාගමන් යෑමට අපට අවස්ථාව උදා වී තිබේ.  මුල් කාලයේ පාගමන් ගියේ බාල දක්ෂ පදක්කම් ඉලක්ක කරගෙනය.  ටික ටික  පාගමන් යෑමේ උණක් සෑදීමට ඒ මුල් කාලයේ ගිය පාගමන් හේතු වන්නට ඇත. කැලෑ අස්සේ රිංගීමටත් කදු නැගීමටත් ලැබෙන අවස්ථාවක් අපි ලෙහෙසියෙන් අතහැරියේ නැත. නමුත් රැකියාව නිසා කාර්යය බහුල වීමත් නිවාඩු දින දෙක තුනක් කොහේ හෝ ඈතක යැම ගැන පෙම්වතියන් අමනාප වීමත් ආදී විවිධාකාර වූ හේතූන් නිසාත් පසු කලක පා ගමන් යාම නැත්තටම නැතිවී ගියේය.  පසු කාලයේ මිතුරු හමු සිදු වූයේ බෝතලයක් මුල් කරගෙන වීමත් පා ගමන් නැතිවීමට හේතුවක් වන්නට ඇත.
    ඒ නැතිවී තිබූ උණ බණ්ඩාට නැවත සැදුනේය. එයට එක් හේතුවක් වූයේ චින්තකයාය. චින්තකයා අපට වඩා කනිශ්ඨ බාලදක්ෂයෙකි. තවමත් බාලදක්ෂ ව්‍යාපාරය කරනනෙකි. නිවසේදී පාගමන් ගැන කියවද්දී ඒවායේ ජායාරූප පෙන්වද්දී. අපිත් එකක් යමු බන් යන්න මා නිතර පැවසු වදනක්ය. දෙවන හේතුව අසුරයාය. අසුරයා යනු අපට වඩා බාල චින්තකයාට වඩා වැඩිමල් වූ බාලදක්ෂයෙක්ය.  ඔහුගේ
 චාරිකා සටහන් කියවීම. පා ගමන් උණ දෙගුණ තෙගුණ  වීමට බරපතල ලෙස  උපකාර වූයේය.
    අවසානයේ කළකට පසු උණ හොද කරගැනීමට අවස්ථාවක් උදා වූයේය. මුලදී පස් දෙනෙක් සිටියත් යන දිනය වන විට එය සතරකට බැස්සේය. සුපුරුදු පරිදි පෙර සුදානම අවන්තගේ නිවසේදීය.  යන්නේ එතරම් දුරකට නොවේ. අවිස්සාවේල්ලටය. 

  අවිස්සාවේල්ලේ සිට නුවර පාරේ කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන තුන්මන් සංදියෙන් දකුණට හැරී පනාවල-මානියංගම මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගියවිට කදු පාමුලට යා හැක්කේය. උදෑසන 9 පමණ වන විට අපි කදු පාමුලට ලගාවුනෙමු. ගමනේ මුල් අදියර ගම්මානයක් මැදින්ය. 
  
කුඩා දියපහරක් අබියස උදෑසන ආහාර ගත්තෙමු. ඉහලට යත්ම මිනිස් වාසය අඩුවී වනගත බව වැඩි වන්නට වූයේය. පැය තුනක පමන ගමනකින් පසු අපි එක් කදු මුදුනකට පැමිණයෙමු.  අප තරණය කරන්නේ කුඩා කදු වැටියකි. එහි මුදුන් තුනක් තිබේ. අප පැමිණ සිටින්නේ එහි උසම කදු මුදුනටය.

 අවට දර්ශණය අතිශයින් සුන්දරය. අවිස්සාවේල්ල නගරයද. අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයද ඈතින් දිස්වේ. කදු පාමුල අප පසු කරමින් ආ නිවාස ආදියද කුඩාවට පෙනේ. පැයක පමණ කාලයක් කදු මුදුනේ විඩා නිවූ අපි  පල්ලම් බසින්නට වූයේ ඊළග කදු මුදුනට යාම සදහාය. 

 එහිදී අපට මුහුණ දුන් ගැටලුවක් වූයේ යන දිශාව තීරණය කර ගැනීමයි. කන්ද මුදුනේදී යා යුතු දිශාව හොදින් දර්ශණය වුවත් මදක් පහල බසිද්දී අනික් කදු මුදුන නොපෙනී යාම නිසා  යායුතු මාර්ගය තීරණය කර ගැනීම මදක් අසීරු විය. විශාල ගල් පර්වත පසු කරද්දී රවුම් ගැසීමට වීම නිසාත් නිවැරදි දිශාව අනුමානය කිරීමද අසීරුය. කරන්නට සිදු වූයේ ගසකට නැග බැලීම පමණය. මෙවන් අවස්ථාවල පිහිටට සිටින චින්තා ගසකට නැග දිශාව  සොයා ගත්තේය. ඒ අතරමග හමුවූ තරමක එලිමහන් පෙදෙසකදී දිවා ආහාරය ගත්තෙමු. උදේට මෙන්ම  දවල්ටද  සීනි සම්බෝල සමග පාන්ය. මේ වන විට අපේ ජලයද අවසන් වෙමින් තිබේ. ඉක්මනින් ජලය සොයා ගත යුතුය. එමනිසා  දිවා ආහාරයට වැඩි වේලාවක් ගත නොකර ඉක්මනින් ගමන් කලෙමු.  දෙවන කදු මුදුන ආසන්නයටම පැමිණි අපි අපේ ගමන් මලු එහි තබා ජලය සෙවීම පිණිස විසිර ගියෙමු.  ජලය සොයා  ගත්තේ චින්තාය. 

ඒ සදහා තරමක පල්ලමක් බැසිය යුතුය. දෙවැනි කදු මුදුනට යාම හෙටට කල් දමා අපි දිය පහර අසල කූඩාරම අටවා ගත්තෙමු.

    රෑ කෑම සදහා නූඩ්ල්ස් ද මීට් බෝල්ස් ටින් එකක්ද සකස් කර ගත්තෙමු.  ගිනිමැලයක් ගැසුවෙමු. ආහාර පිසීමට පිරිසිදු වීමට හා වැසිකිලි කැසිකිලි පහසුකම් සදහාද තිබුනේ කුඩා දිය පහර පමණි.   යන්තම් කලුවර වැටීගෙන එනවිට රෑ කෑම ගත් අපි කූඩාරම අසලට ගොස් ගිණිමැලය දල්වා ගත්තෙමු. 
  ඇම්ඩා ගැන, කෙල්ලන් ගැන, ආගිය තොරතුරු කියවමින් බොහෝ රෑ බෝ වන තුරු නිදි වරා සිටි අප නින්දට යන විට  රෑ මැදියමට ආසන්න වන්නට ඇත.
   උදෑසන 6ට පමණ වැස්සක් පටන් ගත්තේය. කූඩාරම යටින් වතුර පාරක් ගලා යන්නටවිය. වැස්ස වැඩි වෙලාවක් පැවතුනේ නැත. නමුත් නැවත නිදා ගත නොහැකි තරමට කූඩාරම තෙමී තිබුනේය. ඒ වනවිට දැඩි මීදුමකින් අවට වැසී තිබුනේය. හිරු උදාවත් සමගම මීදුම අඩුවී ගියේය.  තරමක සීතලක්ද තිබේ. නිවී තිබූ ගිනිමැලය නැවත අවුලුවා ගත්තෙමු.  කූඩාරම ගලවා වේලෙන්නට දැමුවෙමු. ඉක්මනින් උදෑසන ආහාර සකස්කරගෙන ගමන පටන් ගැනීමට සූදානම් වූයෙමු. අපට අවශ්‍ය වූයේ අව් රශ්මිය දැඩි වන්නට පෙර කදු මුදුනට යාමටය. නමුත් අප ලක ලැහැස්ති වන විට අව්ව තදින් පායා තිබුනේය. කෙසේ හෝ දෙවන කදු මුදුනද තරණය කළෙමු.  දැන් අප කදු වැටියේ දෙපස ඇති කදු මුදුන් දෙකම තරණය කර අවසන්ය. ඉතිරිව ඇත්තේ මැද්දෙන් පිහිටි කන්ද නැගීමය. එය තරමක් අසීරු කන්දකි. එම කන්දේ බාගයක් පමණ නගින විට වැස්සක් ඇද හැලුනේය.  වැස්සේම කදු මුදුනට ගියෙමු. ගල් තලාවක් හරහා පනින්නට ගොස්  මාගේ සපත්තුවක් ගල් දෙබොක්කාවකට වැටුනේය. චින්තක කඹයක ආදාරයෙන් පහලට බැස සපත්තුව සොයාගත්තේය.

 ටික වෙලාවකින් වැස්ස තුරල් වූ අතර. අප පහල බැසීමට පටන් ගත්තෙමු. නගිනවාට වඩා බැසීම අසීරු විය. වර්ෂාව නිසා ගල් ලිස්සන සුලු වීමත්, කූඩැල්ලන් බහුල වීමත් නිසා  ආපසු ගමන සිදුවූයේ වඩාත් සෙමින්ය. 

කෙසේ හෝ පැය දෙකක පමණ ඇවෑමෙන් අපි කදු පාමුලට ආවෙමු. සීතාවක ගගින් නෑවෙමු. නෑමෙන් පසු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ දක්වා පාගමනින් ආවෙමු.  
     මේ කලකට පසු ගිය පළමු පා ගමනයි. මේ පෝසටුව ලියනා විටත්  ඊළග පාගමන පිළිබද පිඹුරු පත් සැකසෙමින් තිබේ. මූලිකම ගැටලුව නිවාඩු දිනයන් සොයා ගැනීමය. නිවාඩුවක් ලැබුනු විගස තවත් කොහේ හෝ යනු ඇත. නකල්ස්, ඇළි හත, නමුනුකුල, කිරිගල්පොත්ත මෙන්ම දැරණියගල හරහා සමනළගිර වන්දනාව වැනි දීර්ඝ ලැයිස්තුවක් දැනටමත් ඇත්තේය. නැත්තේ වෙලාවය.  


බල්ලෙක්, ගල් ලොරියක් හා මිනිස්සු



    වෙලාව උදෑසන 6.30 ට පමණ ඇත. මා නාන කාමරයේ සිට එලියට ආවා පමණි. නැන්දා අඩාගෙන 
එන්නේය. නැන්දාට පිටිපස්සෙන් නංගීද අඩාගෙන එන්නේය.

ඇයි මොකද වෙලා තියෙන්නේ.

අනෙ බලපන් බන් ජිමියව වාහනේකට යට කරගෙන ගිහින්....

මොකක්... මම කමිසයක් ඇද ගැනීමට වත් පරක්කු නොවී පාරට ගියෙමි..

මාලා ඇන්ටි කාටදෝ බනිනවා ඇසේ. පාරේ කවුරුවත් නැත.

අනේ පුතේ මේ අපේ වත්තෙ ඉන්නේ.

   මාලා ඇන්ටි මා දැක කෑ ගැසුවේය. අඩියට දෙකට මා මාලා ඇන්ටි අසලට ගියෙමි. ජිමියා ඒ අසලම කාණුවක වැටී සිටියේය. මා දුටු විගස උගේ කෑ ගැසීම දෙගුණ විය. අසීරුවෙන් මෙන්  පැනගෙන මා අසලට ආවේය.   මම ඌ අල්ලන්නට සැදුවෙමි. කෑ ගසමින් දගලන බල්ලාගේ දත් මගේ අතේ දෙතුන් පලක ලේ බිදු මතු කිරීමට සමත් වූයේය. මම ඌට දගලන්නට බැරිවන ලෙස  බෙල්ලෙන් අල්ලාගෙන පරීක්ෂා කර බැලුවෙමි.  

මොහොකටද මාලා ඇන්ටි මූව අහුවුනේ..

මේ ගල්  ලොරියකට.. අයියෝ ඒ යකා නවත්තන්නෙ වත් නැතුව ගියානේ. මෙහෙමත් අසමජ්ජාති හැත්ත. 
මේ අතුරු පාරෙත් ඉගිලෙනවනෙ.

   ජිමියාගේ පිටුපස වම් කකුල දණහිස ගාවින් කැඩී තිබුනේය. ජිමියා සුදු පැහැති බල්ලෙකි. දැන් උගේ පිටුපස ලේ වලින් රත් පැහැ ගැන්වී තිබුනේය.  නැන්දා ඈතට වී බලා සිටියේය. කලයුතු එකම දේ හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත ගෙනයාමයි. නමුත් 9 පමණ වනතෙක් ඔවුන් පැමිනෙන්නේ නැත. ජිමියාව අසල ගසක බැද දමා ඌට බීමට ජලයද ගෙනවිත් දුන්නෙමි. ඉන්පසු ගෙදරට ගොස් අතුරුගිරියේ සිටින පශූ වෛද්‍යවරයෙකුට ඇමතුවෙමි. ඔහු සියලු විස්තර අසා සිට පැවසුවේ 9ට ඔහුගේ සායනයට රැගෙන එන ලෙසයි. වෙන කරන්නට දෙයක් නැත. දුරකට ගෙනයාම සදහා මුදල්ද නැත. අමාරුවෙන් හෝ 9ය වනතුරු සිට ජිමියාවද රැගෙන වෛද්‍යවරයා හමුවට ගියෙමි.  නැන්දාද මා සමග ආවේය. පශු වෛද්‍යවරයාගේ සායනයේ ඇති මේසය මත ජිමියාව දිගා කරවන විටය මම ඌගේ නියම තත්වය දුටුවේ.

     පිටුපස වම් කකුල දණහිස ළගින් කැඩී තිබුනේය. දණහිසේ ඇටයක්  එලියට පැන තිබුනේය. උගේ වෘෂණ කෝෂ තිබුනේ නැත. තිබිය යුතු තැන තිබුනේ විශාල වලකි. වෛද්‍යවරයා සුලු වේලාවක් ජිමියාව පරීක්ෂා කර බැලුවේය.

ඔපරේෂන් කරන්න වෙනවා. ඒත් සිහිය නැති කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. කැමතිද..

කමක්නෑ ඩොක්ට වෙන කරන්න දේකුත් නෑනෙ..

සමහරවිට කකුල නම් බේර ගන්න බැරිවෙයි. අපි පුලුවන් තරම් උත්සහ කරන්නම්..

මම හිස වැනුවෙමි. 

    ශල්‍යකර්මය සදහා පැය 2ක් පමණ ගතවුනේය.   එය අවසන් වන විට ජිමියාට උගේ පිටුපස වම් කකුල අහිමිව තිබුනේය. කලවය අසලින්ම කකුල කපා තිබුනේය. එක් වෘෂණ කෝෂයක් පමණක් තිබුනේය. වෛද්‍යවරයා දම්පැහැති බෙහෙතක් ජිමියාගේ තුවාල වලට ගෑවේය.
හවසටත් එක්කරගෙන එන්න. 5ට විතර එන්න.

    රුපියල් තුන්දහස් ගණනක් බිල ගෙවා අපි ගෙදර ආවෙමු. උණු වතුරෙන් ජිමියාව පිරිසිදු කර. සාලයේ කොනක තැනක් සකස් කර ජිමියා ව එහි තැබුවෙමු. ඌට තාමත් සිහිය නැත. කිහිප දෙනෙක්ම ජිමියාව බැලීමට ගෙදර ආවේය.   සවස තුන පමණ වන විට ජිමියාට ටිකෙන් ටික සිහිය එන්නට විය. ඌ නැගිටින්නට උත්සහ දැරුවේය. සිහින් හඩින් කෙදිරි ගාමින් නැගිටින්නට දරණ උත්සාහය දකින කාගේත් හද කම්පා කරන සුලුය.  වතුර ටිකක් බීවා ඇරෙන්න වෙන කිසිදු කෑමක් බීමක් දෙස බැලීමටවත් ජිමියා උනන්දු වූයේ නැත. කෙසේ හෝ සවස 5 පමණ වන විට නැන්දාත් මමත් ජිමියාව රැගෙන නැවතත් පශවෛද්‍යවරයා හමුවට ගියෙමු.

වෛද්‍යවරයා ජිමියා ජීවත්ව සිටිනු දැක සතුටට පත් වූයේය.
මම හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියලා.. දැන් රිස්ක් එකක් නෑ.

    තවමත් කටින් බෙහෙත් දීමට හැකි තත්වයක ජිමියා නොසිටි බැවින් සේලයින් හා තවත් බෙහෙත් වර්ග කීපයක්ම ජිමියාට එන්නත් කලේය. දින කීපයක් යන තුරු එන්නත් හා සේලයින් දීමට සිදුවන නිසා උගේ ඉදිරිපස වම් කකුලට කැනියුලා එකක්ද සවි කලේය. අපි නැවත ගෙදර එන විට සවස 7 පමණ වන්නට ඇත.

    ඌ කිසිවක් කන්නේ නැත. මහත් ආයාසයක් දරා යෝගට් එකකින් බාගයක් පමණ කවා ගැනීමට හැකිවිය.  වරින් වර වතුර ස්වල්පයක් බීවේය. රෑ 10 පමණ වන විට අපි නිදන්නට සැරසුනෙමු. තවමත් ජිමියා සිටින්නේ  සාලයේ සකස් කල ස්ථානයේමය. මමද සෙටිය ඒ කිට්ටුවට ඇදගෙන එහි ඇලවුනෙමි. දැන් ජිමියාට හොදින් සිහිය ඇවිත්ය. උගේ තුවාල වේදනා දෙනවා ඇත. ඌ වරින් වර කෙදිරි ගායි. මම ඌ අසල වාඩි වී ඌව අතගාමින් සිටියෙමි. ටික වෙලාවකින් ඌ නිහඩ වෙයි. එවිට මම සෙටියේ ඇලවෙමි. නැවතත් ඌ කෙදිරි ගාන්නට වූ විට සෙටියෙන් බැසගොස් ඌව අතගාමීන් සිටිමි.  මෙලෙස පැය දෙකක් පමණ ගෙවී ගියේය. ජිමියාගේ කෙදිරිය වැඩි වූයේය. මම ඌ අතගාමින් සිටියෙමි. නැන්දාද නැගිට ආවේය. අපි දෙන්නා විනාඩි 10 පමණ එක එක දේ ගැන කියවමින් සිටියෙමු. නැන්දා නැවත නිදන්නට ගියේය. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මමද සෙටියේ ඇල උනෙමි.  මට නින්ද ගියේය. ඇහැරෙන විට පාන්දර 2ට පමණ ඇත. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මම විදුලි පහන් දල්වා බැලුවෙමි. උගේ පපු පෙදෙස උස් පහත් වන්නේ නැත. තවත් ලංවී බැලුවෙමි. ජිමියා මියගොස්ය.

    පාරේ අවසිහියෙන් ගමන් කල ගල් ලොරියක් නිසා ජිමියා නොවිදිනා දුක් විද මරණයට පත් වුයේය. එක් අතකින් ලොරි කාරයාට බැන වැදී පලක් නැත. ඒ උස ලොරියකට නැගගත් පසු රෝදයක් අසලට එන බල්ලෙක් තබා සමහරවිට මිනිසකු වුවත් පෙනෙන්නේ නැති වන්නට පුලුවන. මා සිතනා හැටියට මිනිසුන් ඕනෑ කමින් අනතුරු සිදුකරන්නේ නැත. ඕනෑ කමින් කරනවානම් ඒවා අනතුරු නොවනු ඇත.

   ජිමියා බැලීමට ආ පිරිස අතර නැන්දාගේ ඉතා සුහද අසල්වැසි ඇන්ටි කෙනෙක්ද වූයේය. ඇය සතර පෝයට සිල් ගන්නා ඉතාමත් ධර්මිශ්ඨ කාන්තාවක් ලෙස අසල්වැසියන් අතර නමක් දිනා ගත් අයෙකි. නමුත් ඇය ආ ගමන්ම පැවසුවේ

අයියෝ මේ බල්ලෙක් ගෙන් ඔයගොල්ලන්ට තියෙන කරදරයක්.. චිහ් මහ වදකාර බල්ලෙක්.. 

ඇයගේ අදහස අනුව අපි ජිමියා සදහා වියදම් කරේ අහල පහල මිනිසුන්ගෙන් කතන්දර ඇසීමට අකමැති නිසාය. 

"වෙදකම් නොකර බෑනෙ. වටේ පිටේ මිනිසසු මොනව නොකියයිද.."

ජිමියාගේ මරණය ආරංචි වු විගස ඇය පැවසුවේ  “අයියෝ මෙච්චර වියදම් කරාට පසසෙ මූ මලානේ. කලින්ම මැරුණනම් මේ වියදම් නෑ නෙ...” 


අපේ බදුලු ගමන... තුන්වන දිනය..

පළමු දිනය මෙතනින්
දෙවන දිනය මෙතනින්

          තුන්වන දිනටත් උදා වුනේය. කලින් දින නිදා ගත් තැන, නිදා ගත් ආකාරය පෙනෙන්නේ දැන්ය. අවුලක් නැත. එක එකා අමාරුවෙන් නැගිට ගත්තේය. චින්තාගේ අම්මා තේ සාදා දුන්නේය.  යන්තම් උඩින් පල්ලෙන් වාගේ මුහුණ සෝදාගත්තේය. උදේ කෑම සකස් වන තුරු ෆොටෝ ගැසුවේය, මල් කැඩුවේය. කෑමෙන් පසු  නැවතත් පාරේය. මේ චින්තාගේ ගමය. යන යන තැන ඉන්නේ නෑදෑයන්ය. පැයක් පමණ කාලයකදී බිස්කට් සමග තේ කෝප්ප සතරක් බීමටද, ජෑම් පේර ගසක් සුද්ද කිරීමටද අවස්ථාව සැලසුනේය.  පුවක් කොලපු පැද්දේය,  බළල් බැළලි ආදරයක් දුටුවේය.


       පාර අයිනේ පළබරවු ජම්බෝල ගසක් හමුවුයේය. ගල්ගසා ජම්බෝල කැඩීමට බලවත් උත්සහයක් ගත් නමුත් හරිගියේ නැත. අන්තිමට චින්තා ගසට නැග්ගේය. බණ්ඩාත් අවත් කඩන ජම්බෝල ඇල්ලීමේ කාර්යය බාර ගත්තේය. බැරිවෙලාවත් අල්ලා ගන්නට බැරි වුනේ නම් ජම්බෝලෙ නවතින්නෙ අඩි පනහක පමණ පල්ලමකය. නමුත් බණ්ඩාගේත් අවාගේත් හොදකමට ගෙඩි තුන හතරකට වඩා පල්ලමට ගියේ නැත. ශුද්ද ලාභය ලෙස ගෙඩි තුනක් ඉතුරු විය. එතැන් සිට නැවත චින්තලාගේ  ගෙදරට යන තුරු,ජම්බෝල වලින් ටීක් ගැසුවේය, පොර පොල් ගැසවේය. පාර දිගේ රෝල් කරේය.
“ආ මේ ළමයි ජම්බෝලත් කඩලා.. අපව දුටු චින්තාගේ අම්මා කීවේය.. ඕව තලාගන්න එපා.. තිත්ත වෙනවා..
      තලලා ඉවරය.. කට වසා ගෙන සිටියේය.. සාලේ පැදුරක් දමාගෙන ජම්බෝල ලෙලි ගසාගෙන කන්නට වුනේය.

     චින්තාගේ අම්මා හරිය. කට හාරාගෙන යයි. කනවා තබා හිතන්නටවත් බැරිය. ගෙඩි තුනම ලෙලි ගසා බැලුවේය. සේරම එක වගේය. මෙලෝ රහක් නැත. කටේ අමුත්ත යන්නට පැණි දොඩම් මිරිකා බිව්වේය. 

       දිවා ආහාරයෙන් පසු චින්තාගේ ආච්චිලාගේ ගෙදර යාමට පිටත් වුනේය. එය පැය දෙකක පමණ ගමනක්ය. චින්තලාගේගම බඹරපානය. එහි සිට වැලිමඩටත්, වැලිමඩසිට විදුරපොලත් දක්වා බසයෙන් ගමන් කලේය. බසයෙන් බැසූ තැන සිට කිලෝ මීටර් දෙකක පමණ දුරක් ගමන පයින්ය. චින්තාගේ ආච්චි හා සීයා අපව සාදරයෙන් පිළිගත්තේය.  වටේටම ඇත්තේ අල වතුය. ගෙඩි පිරුන අලි පේර ගස්ද සැහෙන්න තිබුනේය. ආච්චිලාගේ වත්තේ මිදි වැලක්ද තිබුනේය. අප  යන විට නම් එහි පොකුරු  පිටින් මිදි තිබුනේය. ටික වෙලාවකින්  බලද්දී බෙහෙතකටවත් ගැනීමට   මිදි නැත. කුමක් වූවාදැයි දන්නේ දෙයියෝ පමණි.
       ආච්චිගේ උණුසුම් තේ කෝප්පයක් බීමෙන් පසු නාන්නට තැනක් සොයා කට්ටිය පල්ලම් බැස්සේය. (නිවස පිහිටා තිබුනේ කුඩා කන්දක් මුදුනේය) කලකින් වැස්සක් වැටී නැති නිසා ඔය සිදිලාය. ගල් අස්සෙන් හීනියට ගලාගෙන ගිය වතුරද බොර පාටය. ඔයෙන් නෑම අතහැර පීල්ලට ගියේය. පීල්ලේ වතුරද අඩුය. නමුත් සීතල වැඩිය.

මෙහෙම ජුන්ඩ ජුන්ඩ නෑවම සීතල වැඩියි බන්.. හිටපන්කො වැඩක් කරන්න..

     අවා සෙරෙප්පුවක් ගෙන පීල්ලේ  කට වැසුවේය. දිය පහරක් හරස් කොට බැම්මක් බැද, ඒ මැදින් ලොකු බටයක් සවි කිරීමෙන් පීල්ල සාදා තිබුනේය. අවා සෙරෙප්පුව තබා වැසුවේ මේ බටයයි. ටික වෙලාවක් යන විට බැම්මට එහා පැත්ත වතුරෙන් පිරෙන්නට වූයේය. වතුර සෑහෙන පමණ පිරුණ විට සෙරෙප්පුව අයින්කර බටයට ඔලුව ඇල්ලූ විට අධික වේගයෙන් එන වතුර නෑමට හැකිය. එකවර වතුර ගොඩක් එන නිසා ගොඩක් වෙලා ඔලුව අල්ලාගෙන සිටීමට අවශ්‍ය නැත. මෙලෙස මාරුවෙන් මාරුවට කට්ටියම හොද හැටි නාගත්තේය. නාගෙන එනවිට කලුවර වැටිලාය.
       ගමේ පන්සලේ පින්කමකි. ආච්චි එයට සහභාගී වීමට සිටියත් හිටිහැටියේ කඩා පාත් වු කොලු රංචුවට රෑ කෑම සැදිමට ඇති නිසා ගෙදර නැවතුනේය. ආච්චි පව්ය. ඇයගේ අඩුව පුරවන්නට අප පන්සල් ගියේය. පන්සල පිහිටා තිබුනේද කන්දක් මුදුනේය. හති හලාගෙන කන්ද නැගගෙන පන්සලට ගියේය.

 ගියාට වැන්දේ නැත. වදිනවා මෙන් ෆො‍ටෝ ගැසුවා පමණි. නාඹර උපාසිකාවන්ගෙන් පන්සල පිරී තිබුනේය. නමුත් අපි ඔවුනගේ ෆොටෝ ගැසීමට ගියේ නැත. මේ ගමේ කෙල්ලෝ එච්චර ලස්සන නැත. ලස්සන වුනානම් ,අම්මලා පුන්චි අම්මලා බාප්පාලා ලොකු මාමලා කොච්චර වටේ සිටියත් ෆොටෝ නොගසා සිටින්නේද නැත.

පන්සලෙන් පිටවුයේ බඩගින්න විසින් අණ කරනු ලැබු විටය. ආච්චි කෑම ලෑස්ති කොට තිබුනේය. කෑමෙන් පසු සුපුරුදු පරිදි නින්දය.

සිව්වන දිනය (අවසාන දිනය)

      
      අද ගමනේ අවසාන දිනයයි.  පාන්දරින්ම පිටත් වීමට අදහස තිබුනත්  විදුරපොලින් පිටත් වන විට  දහයද පසුවී තිබුනේය. විදුරපොලින් වැලිමඩටත් වැලිමඩින් බදුල්ලටත්, බදුල්ලෙන් 99 කොළඹ බසයක නැගී මීපෙ හංදියටත්, එතැන් සිට තුන්රෝ රියකින් අවාගේ ගෙදරටත් පැමිණීමෙන් චාරිකාව සමාප්ත විය.