“අම්මා …… මම
දැන් එයාර්පෝර්ට් එකේ ඉන්නෙ”.
.................................................................
“නෑ නෑ අම්ම
මම ලංකාවෙ ඉන්නෙ කටුනායක දැනුයි
ආවේ”.
......................................................................................................
“දැන් කමක් නෑ අම්ම මම ටැක්සි එකක් කතා කරගෙන එන්නම්”..
..................................................................................................
“හරි අම්මා ඉක්මනට එන්නම්. බුදු සරණයි”.
අයහපත් කාලගුණය නොවුයේ නම් මම ලංකාවට
ගොඩ බසින්නේ මීට දින හතරකට පෙරය. අධික
වර්ෂාව හා කුණාටු තත්වයන් නිසා දින කිහිපයක්ම ගුවන් ගමන අවලංගු වූ
අතර, හදිසියේම සියල්ල
යථා තත්වයට පත්වී ගුවන් ගමන් ද ආරම්භ වූයේය. නිවසට දැනුම් දීමට ඕනෑ තරම් කාලය තිබූ
නමුත් මාගේ අධික කලබලය නිසාම එම අවස්ථාව ගිලිහි ගියේය. තනිවම නිවසට යාමට සිදුවීමේ
සම්පූර්න වරදම අයහපත් කාළගුණයට පැවරූ මම හිත නිදහස් කරගත්තෙමි
“චිහ්..... කාළකන්නි වැස්ස”..
“සර් මොනව හරි කිව්වද”..
“ආහ්.. නෑ නෑ මුකුත් නෑ”..
“සර් හෝමාගමට නේද යන්නේ”..
“ඔව් ඉක්මනට යමු”..
“සර්ට ගෙදර යන්න හදිස්සියි වගේ නේද”..
“හ්ම්ම්ම්ම්ම්.. කාලෙකින්නෙ ගෙදර යන්නෙ”..
“කොහේහිටියත් ගෙදර වගේ නෑ නේද සර්”
“ඒකනේ”..
“සර් කොහෙද හිටියේ”.. කුලීරථ
රියදුරා දිගින් දිගටම කතාවට එයි..
“ **********තෙ”.. මම
කෙටියෙන් උත්තර දී නිහඩව සිටීමට උත්සාහ
කළෙමි. මට කා සමග හෝ කතා කිරීමේ ඕනෑ කමක්
තිබුනත් රියදුරා ඒ සදහා ගැළපුනේ නැත. පැය
හත අටක ගුවන් ගමනේදී නොදැනුන පාළුවක් තනි කමක්, ගුවන් තොටුපලේ සිට ගෙදර බලා එන කෙටි ගමනේදී මා වෙළා
ගත්තේය. කුලි රථය නිවස අසලින් නවත්වන විට ඒ තනිකම නිසාම මා අධික වෙහෙසට පත්ව සිටියෙමි.
නමුත්
එම වෙහෙස හිරු දූටු පිනි මෙන් වියැකී ගියේ අම්මාගේ සොදූරු මුහුණ
දැකීමෙනි. කුලී රථය නවත්වනවිටම වාගේ ගේට්ටුව අසලින් ඇය මතුවූයේ දීර්ඝ වේලාවක් මාගේ
පැමිනීම අපේක්ෂාවෙන් බලා සිටි බව පසක් කරමිනි.
අපි එක් වදනක් හෝ නොදොඩා වැළද ගත්තෙමු. මා ඇගේ
තුරුලෙන් මිදෙන විට තාත්තා හා අක්කලා දෙන්නා මා අසල සිටියේය. කළින් දැනුන පාළුව
කාන්සිය දැන් නැත. නියං සායට හසුව වේලී කරවී තිබූ මගේ සිත, ගොඩ දියෙන් මෙන්ම අහස්
දියෙන්ද පෝෂිතව වහ වහා දළු දමා වැඩෙමින්
කරලින් බර වන්නට වූයේය. හමු වීම සැම විටම
මෙතරම් සුන්දරනම් ඉද හිට හෝ වෙන්වීමේ දුක වින්දාට කම් නැතැයි මම සිතුවෙමි. සෙටියේ ඇලවී අම්මාගේ ඔඩොක්කුවේ හිස තබා ගත් මම
කතා කරන්නට පටන් ගත්තෙමි. තව මොහොතකින් අපි සියළුදෙනාම කතා කරමින් සිටියෙමු. සැවොම
ප්‍රශ්න ඇසුවා විනා පිළිතුරු දීමක් නැත.
“මට තේ එකක් ඔනෙ”. මම
හදිසියේම කිව්වෙමි.
අම්මා වහා නැගිට්ටාය. “ඉන්න මම ඉක්මනට හදන්නම්, ලොකු දූ එන්නකො පොඩ්ඩක්”.ලොකු අක්කා පමණක් නොව
තාත්තාද ඔවුන් සමග ගියාය.
එක් වරම මට කිසියම් අඩුවක් දැනුනේය.
“මම තමයි ඔයා එනකම් ආසාවෙන්ම
බලාගෙන ඉන්නෙ. මට තමයි ඔයා නැතුව ගොඩක්ම පාළු. ඔයා අවහම ඔයාට කොහේවත් යන්න දෙන්නෙ
නෑ. මගේ ලගින්ම තියාගෙන තුරුල් කරගෙන ඉන්නවා”..
“ ******** ට කිව්වද මම එනව කියල”.. මම පොඩි අක්කාගෙන්
ඇසුවෙමි.
“අපි කෝල් කරා ගෙදර කවුරුවත් නෑ. අද මම හිතන්නෙ
******* ගෙ වෙඩින් එක, එහෙ ගිහින් වෙන්නැති. ඔයා එනව කියපු දවසෙ එයාල ඇවිත් දවසෙම ඉදල ගියේ.
අපරාදේ එදා එන්න බැරි උනේ”..
“ඒකනේ.. අපරාදේ”. මමද
ඇයට දුරකථන ඇමතුමක් ගත්තෙමි. එය ක්‍රියා
විරහිත කර ඇත.
“ඕව ගනන් ගන්න එපා”.. පොඩි අක්කා උපදෙස් දුන්නාය.. “හෙට උදේම ගිහින් එයාව
පුදුම කරවන්න. එයාටත් ආස හිතෙයි. අනික තමුසෙ අද කොහේ හරි ගියොත් අම්මට දුක හිතෙයි”.
“නෑ නෑ මම අද කොහේවත් යන්නෙ නෑ ගෙදරම ඉන්නවා”.
කැවිලි
වර්ග බොහෝ ගනනකින් සමන්විත වූ තේ
මේසයට වාඩි වූ වේලේ පටන් බොහෝ රෑ වන තුරු
අපි කතා කලෙමු. ආගිය තොරතුරු පමණක්
නොව ගමේ විසූ කොල්ලන් බල්ලන් ගැන පවා විස්තර ඇසුවෙමි.
පෙරදින රාත්‍රියේ ප්‍රමාද වී නින්දට ගියත් අද
උදෙන්ම අවදි වීමි.
අහා… අද තමයි දවස මම සිතුවෙමි. උණුසුම් සිපුමකින්
මුව සනසා ගැනීමට. උණුසුම් වැළදගැනීමකින් ගත සනසවා ගැන්මට තවත් ප්‍රමාද විය යුතු
නැත.
“උදේට කන්නෙවත් නැතුවද යන්නෙ”.
මම එහෙන් කන්නම් අම්මා.. එක සෙටියේ වාඩි වී සිනාසෙමින් කතා කරමින් ඇයට කියා බත් කවා ගන්නා අයුරු සිහිකරමින් මම
කිව්වෙමි
“ඉක්මනට එනවද”. අම්මාගේ මුහුණ හොද නැත.
“ඉක්මනට එන්නම්”. මම අම්මාගේ දෑස මග හැරියෙමි.
මගේ සිතේ වේගයට වාහනයට යා නොහැක. කල්පයක් සේ
දැනුන කෙටි කාලයකට පසුව මම ඇයගේ නිවසේ ගේට්ටුවට
තට්ටු කරමින් සිටියෙමි. කවුරුන් හෝ ගේට්ටුව අසලට එන ශබ්දයක් ඇසුනේ මම මදක් පසුපසට
වුනෙමි.
“අනේ.................. ඔයා .. මට කිව්වෙත් නෑ
එනව කියලා”.. ඇය මගේ අතින්
අල්ලා ගනිමින් ඇසුවාය..”ඊයෙද ආවේ”
“ඔව්.. මම ඊයෙ ඔයාට කෝල් කරා.. මොබයිල් එක වැඩකරේ නෑ”..
“ඊයේ ********* ගෙ වෙඩින් එකනේ.. අපරාදෙ
ඔයත් ආවනම්”.
ඇය මා ගෙතුලට කැදවාගෙන යන අතරතුර කීවාය.
“අම්මා...
බලන්නකො කව්ද ආවේ කියලා”.. ඈ මා වාඩි වූ පුටුවේ ඇන්ද මත වාඩි වෙමින් කෑ ගැසුවාය.
“ඉතින්”.. නැවත
මා වෙත නැඹුරු වූ ඈ “ආපහු යන්නෙ නෑ නේද”. සිහින් හඩින් ඇසුවාය
“හ්ම්ම්ම්ම්ම්ම් යනවා”. ඇය මුහුණ බෙරි කර ගත්තාය. “ඔයාවත් අරගෙන”..
“මෝඩයා”.. ඇය මගේ උරහිසට පහරක් ගැසුවාය
“අද ඔයා මොකද කරන්නේ”. ඇයගේ ප්‍රශ්න වල
කෙලවරක් නැත.
“මුකුත් නෑ.. අද දවසම ඔයත් එක්ක ඉන්නවා.. අපි කොහේ හරි ඇවිදින්න යමු”..
“මේ.... අනේ සුදු.. ඔයා එනව කියල මම කලින් දන්නෙ නෑනෙ” ඇය ඇඹරෙමින් කීවාය. “අපි *********ගේ හෝම්
කමින් එකට තෑගි ගන්න යන්න කතා කරගත්තා”.
“කවුද යන්නේ”.
ඇය මිතුරියන් කිහිපදෙනෙකුගේ නම් කීවාය.. ඇය මිතුරියන්ට කාරණය පැහැදිලි කර දිම
හෝ යන ගමනක් මාද කැදවාගෙන යාම හෝ කරණු ඇත
“මම තමයි ඔයා එනකම් ආසාවෙන්ම
බලාගෙන ඉන්නෙ. මට තමයි ඔයා නැතුව ගොඩක්ම පාළු. ඔයා අවහම ඔයාට කොහේවත් යන්න දෙන්නෙ
නෑ. මගේ ලගින්ම තියාගෙන තුරුල් කරගෙන ඉන්නවා”..
මම ඇයගේ වදන් මෙනෙහි කලෙමි. “කමක් නෑ , කීයටද යන්නේ”
“මම තව චුට්ටකින් යන්න ඔනේ.. අපි හෙට
මීට් වෙමු”..
රසවත් කතාවක්. මම මුලින් හිතුවේ ඇත්ත කතාවක් කියලා
ReplyDeleteහ්ම්ම්ම්... කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා වගේනේ.
ReplyDelete