වෙලාව උදෑසන 6.30 ට පමණ
ඇත. මා නාන කාමරයේ සිට එලියට ආවා පමණි. නැන්දා අඩාගෙන
එන්නේය. නැන්දාට පිටිපස්සෙන් නංගීද අඩාගෙන එන්නේය.
එන්නේය. නැන්දාට පිටිපස්සෙන් නංගීද අඩාගෙන එන්නේය.
“ඇයි මොකද වෙලා තියෙන්නේ.”
“අනෙ බලපන් බන් ජිමියව වාහනේකට යට කරගෙන ගිහින්....”
“මොකක්...” මම කමිසයක් ඇද ගැනීමට වත් පරක්කු නොවී පාරට ගියෙමි..
මාලා ඇන්ටි කාටදෝ බනිනවා ඇසේ. පාරේ කවුරුවත් නැත.
“අනේ පුතේ මේ අපේ වත්තෙ ඉන්නේ.”
මාලා ඇන්ටි මා දැක කෑ ගැසුවේය. අඩියට දෙකට මා මාලා ඇන්ටි අසලට ගියෙමි. ජිමියා ඒ අසලම කාණුවක වැටී සිටියේය. මා දුටු විගස උගේ කෑ ගැසීම දෙගුණ විය. අසීරුවෙන් මෙන් පැනගෙන මා අසලට ආවේය. මම ඌ අල්ලන්නට සැදුවෙමි. කෑ ගසමින් දගලන බල්ලාගේ දත් මගේ අතේ දෙතුන් පලක ලේ බිදු මතු කිරීමට සමත් වූයේය. මම ඌට දගලන්නට බැරිවන ලෙස බෙල්ලෙන් අල්ලාගෙන පරීක්ෂා කර බැලුවෙමි.
“මොහොකටද මාලා ඇන්ටි මූව අහුවුනේ..”
“මේ ගල් ලොරියකට.. අයියෝ ඒ යකා නවත්තන්නෙ වත් නැතුව ගියානේ. මෙහෙමත් අසමජ්ජාති හැත්ත.
මේ අතුරු පාරෙත් ඉගිලෙනවනෙ.”
ජිමියාගේ පිටුපස වම් කකුල දණහිස ගාවින් කැඩී තිබුනේය. ජිමියා සුදු පැහැති බල්ලෙකි. දැන් උගේ පිටුපස ලේ වලින් රත් පැහැ ගැන්වී තිබුනේය. නැන්දා ඈතට වී බලා සිටියේය. කලයුතු එකම දේ හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත ගෙනයාමයි. නමුත් 9 පමණ වනතෙක් ඔවුන් පැමිනෙන්නේ නැත. ජිමියාව අසල ගසක බැද දමා ඌට බීමට ජලයද ගෙනවිත් දුන්නෙමි. ඉන්පසු ගෙදරට ගොස් අතුරුගිරියේ සිටින පශූ වෛද්‍යවරයෙකුට ඇමතුවෙමි. ඔහු සියලු විස්තර අසා සිට පැවසුවේ 9ට ඔහුගේ සායනයට රැගෙන එන ලෙසයි. වෙන කරන්නට දෙයක් නැත. දුරකට ගෙනයාම සදහා මුදල්ද නැත. අමාරුවෙන් හෝ 9ය වනතුරු සිට ජිමියාවද රැගෙන වෛද්‍යවරයා හමුවට ගියෙමි. නැන්දාද මා සමග ආවේය. පශු වෛද්‍යවරයාගේ සායනයේ ඇති මේසය මත ජිමියාව දිගා කරවන විටය මම ඌගේ නියම තත්වය දුටුවේ.
පිටුපස වම් කකුල දණහිස ළගින් කැඩී තිබුනේය. දණහිසේ ඇටයක් එලියට පැන තිබුනේය. උගේ වෘෂණ කෝෂ තිබුනේ නැත. තිබිය යුතු තැන තිබුනේ විශාල වලකි. වෛද්‍යවරයා සුලු වේලාවක් ජිමියාව පරීක්ෂා කර බැලුවේය.
“ඔපරේෂන් කරන්න වෙනවා. ඒත් සිහිය නැති කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. කැමතිද..”
“කමක්නෑ ඩොක්ට වෙන කරන්න දේකුත් නෑනෙ..”
“සමහරවිට කකුල නම් බේර ගන්න බැරිවෙයි. අපි පුලුවන් තරම් උත්සහ කරන්නම්..”
මම හිස වැනුවෙමි.
ශල්‍යකර්මය සදහා පැය 2ක් පමණ ගතවුනේය. එය අවසන් වන විට ජිමියාට උගේ පිටුපස වම් කකුල අහිමිව තිබුනේය. කලවය අසලින්ම කකුල කපා තිබුනේය. එක් වෘෂණ කෝෂයක් පමණක් තිබුනේය. වෛද්‍යවරයා දම්පැහැති බෙහෙතක් ජිමියාගේ තුවාල වලට ගෑවේය.
“හවසටත් එක්කරගෙන එන්න.
5ට විතර එන්න.”
රුපියල් තුන්දහස් ගණනක් බිල ගෙවා අපි ගෙදර ආවෙමු. උණු වතුරෙන් ජිමියාව පිරිසිදු කර. සාලයේ කොනක තැනක් සකස් කර ජිමියා ව එහි තැබුවෙමු. ඌට තාමත් සිහිය නැත. කිහිප දෙනෙක්ම ජිමියාව බැලීමට ගෙදර ආවේය. සවස තුන පමණ වන විට ජිමියාට ටිකෙන් ටික සිහිය එන්නට විය. ඌ නැගිටින්නට උත්සහ දැරුවේය. සිහින් හඩින් කෙදිරි ගාමින් නැගිටින්නට දරණ උත්සාහය දකින කාගේත් හද කම්පා කරන සුලුය. වතුර ටිකක් බීවා ඇරෙන්න වෙන කිසිදු කෑමක් බීමක් දෙස බැලීමටවත් ජිමියා උනන්දු වූයේ නැත. කෙසේ හෝ සවස 5 පමණ වන විට නැන්දාත් මමත් ජිමියාව රැගෙන නැවතත් පශවෛද්‍යවරයා හමුවට ගියෙමු.
වෛද්‍යවරයා ජිමියා ජීවත්ව සිටිනු දැක සතුටට පත් වූයේය.
“මම හිතුවෙ නෑ මෙයා ජීවත්
වෙයි කියලා.. දැන් රිස්ක් එකක් නෑ.”
තවමත් කටින් බෙහෙත් දීමට හැකි තත්වයක ජිමියා නොසිටි බැවින් සේලයින් හා තවත් බෙහෙත් වර්ග කීපයක්ම ජිමියාට එන්නත් කලේය. දින කීපයක් යන තුරු එන්නත් හා සේලයින් දීමට සිදුවන නිසා උගේ ඉදිරිපස වම් කකුලට කැනියුලා එකක්ද සවි කලේය. අපි නැවත ගෙදර එන විට සවස 7 පමණ වන්නට ඇත.
ඌ කිසිවක් කන්නේ නැත. මහත් ආයාසයක් දරා යෝගට් එකකින් බාගයක් පමණ කවා ගැනීමට හැකිවිය. වරින් වර වතුර ස්වල්පයක් බීවේය. රෑ 10 පමණ වන විට අපි නිදන්නට සැරසුනෙමු. තවමත් ජිමියා සිටින්නේ සාලයේ සකස් කල ස්ථානයේමය. මමද සෙටිය ඒ කිට්ටුවට ඇදගෙන එහි ඇලවුනෙමි. දැන් ජිමියාට හොදින් සිහිය ඇවිත්ය. උගේ තුවාල වේදනා දෙනවා ඇත. ඌ වරින් වර කෙදිරි ගායි. මම ඌ අසල වාඩි වී ඌව අතගාමින් සිටියෙමි. ටික වෙලාවකින් ඌ නිහඩ වෙයි. එවිට මම සෙටියේ ඇලවෙමි. නැවතත් ඌ කෙදිරි ගාන්නට වූ විට සෙටියෙන් බැසගොස් ඌව අතගාමීන් සිටිමි. මෙලෙස පැය දෙකක් පමණ ගෙවී ගියේය. ජිමියාගේ කෙදිරිය වැඩි වූයේය. මම ඌ අතගාමින් සිටියෙමි. නැන්දාද නැගිට ආවේය. අපි දෙන්නා විනාඩි 10 පමණ එක එක දේ ගැන කියවමින් සිටියෙමු. නැන්දා නැවත නිදන්නට ගියේය. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මමද සෙටියේ ඇල උනෙමි. මට නින්ද ගියේය. ඇහැරෙන විට පාන්දර 2ට පමණ ඇත. ජිමියාගෙන් සද්දයක් නැති බැවින් මම විදුලි පහන් දල්වා බැලුවෙමි. උගේ පපු පෙදෙස උස් පහත් වන්නේ නැත. තවත් ලංවී බැලුවෙමි. ජිමියා මියගොස්ය.
පාරේ අවසිහියෙන් ගමන් කල ගල් ලොරියක් නිසා ජිමියා නොවිදිනා දුක් විද මරණයට පත් වුයේය. එක් අතකින් ලොරි කාරයාට බැන වැදී පලක් නැත. ඒ උස ලොරියකට නැගගත් පසු රෝදයක් අසලට එන බල්ලෙක් තබා සමහරවිට මිනිසකු වුවත් පෙනෙන්නේ නැති වන්නට පුලුවන. මා සිතනා හැටියට මිනිසුන් ඕනෑ කමින් අනතුරු සිදුකරන්නේ නැත. ඕනෑ කමින් කරනවානම් ඒවා අනතුරු නොවනු ඇත.
ජිමියා බැලීමට ආ පිරිස අතර නැන්දාගේ ඉතා සුහද අසල්වැසි ඇන්ටි කෙනෙක්ද වූයේය. ඇය සතර පෝයට සිල් ගන්නා ඉතාමත් ධර්මිශ්ඨ කාන්තාවක් ලෙස අසල්වැසියන් අතර නමක් දිනා ගත් අයෙකි. නමුත් ඇය ආ ගමන්ම පැවසුවේ
“අයියෝ මේ බල්ලෙක් ගෙන් ඔයගොල්ලන්ට තියෙන කරදරයක්.. චිහ් මහ වදකාර බල්ලෙක්..”
ඇයගේ අදහස අනුව අපි ජිමියා සදහා වියදම් කරේ අහල පහල මිනිසුන්ගෙන් කතන්දර ඇසීමට අකමැති නිසාය.
"වෙදකම් නොකර බෑනෙ. වටේ පිටේ මිනිසසු මොනව නොකියයිද.."
ජිමියාගේ මරණය ආරංචි වු විගස ඇය පැවසුවේ “අයියෝ මෙච්චර වියදම් කරාට පසසෙ මූ මලානේ. කලින්ම මැරුණනම් මේ වියදම් නෑ නෙ...”
අනේ මන්දා බණ්ඩෝ අවතාර්ටත් ඔහොම තමයි බල්ලෙක්ට උනත් ඌ අපි එක්ක ලෙන්ගතු වෙනවා නම් මිනිහෙක්ට දෙන්න ඕන සැලකිලි දෙනවා.
ReplyDeleteජිමියා ගැන දුකයි
අද ඉස්සරලම කියවන්න උනේ දුක හිතෙන පෝස්ට් එකක්
Deleteමේ පැත්තට ආවට ස්තුතියි. මටත් තාම අවුල් වගේ..
මිනිස්සු හිතලා බල්ලෝ හප්පන්නේ නැති එකනම් ඇත්ත... ඒත් බල්ලෙක් සාමාන්‍යයෙන් වැහනේක හැප්පෙන්න පාරේ ඉන්නේ නෑ... මම දැකලා තියෙනවා පාරේ බල්ලෙක් එක වාහනේකින් බේරෙන්න පාරේ මැදට පැන්නා... එතකොටම අනිත් පැත්තේන් තවත් වාහනයක් ආවා... ඒකෙන් බේරන්න කලින් වාහනේ ගිය ගමන් ඒ පැත්තට පනිනකොට ලොරියක් ඒ පැත්තේ ආවා... ඌට යන්න තැනක් නැතුව බිම වැතිරුණා... උගේ උඩින් ලොරිය ගියා... වාහන 3ම ගියත් බල්ලට මොකුත් වුණේ නෑ... මේ ටික වෙන්න විනාඩි බාගයක් යන්න නැතුව ඇති... අපිට එහෙම වුණා නම් අපි පනින්න හිතනකොටත් හැප්පිලා ඉවරයි...
ReplyDeleteඅපි දවසට මදුරුවෝ කියක් නම් මරනවා ඇත්ද? ඔය ගහන පාරකට හැම මදුරුවම එකපාර මැරෙන්නේ නෑ නේද? සමහරු මැරෙන්නේ බාගෙට... උනුත් ඔය වගේ විඳවනවා ඇති නේද?
ඔව් අලුත් මල්ලිගෙ කතාව ඇත්ත. අපි හිතන්නෙ අපිට පේන දේවල් ගැන විතරයි. මැස්සෝ, මදුරුවෝ කූඹී වගේ සත්තු කී දෙනෙක් අපි නිසා ඔය වගේ දුක් විදිනවා ඇත්ද..
ReplyDeleteසාමාන්‍යෙයෙන් බල්ලෝ වාහන වල හැප්පෙන්නෙ නෑ. ඒත් අපි කොච්චර දැකල තියෙනවද වාහන වලට අහුවෙච්ච බල්ලන්ව. මම එක පාරක් වාහනයකට අහුවුන රිලවෙක් දැක්ක තියෙනව. සමහරවිට ඒක ඒ සත්තුන්ගේ කරුමෙ වෙන්න ඇති.
බේරාගන්නට අවස්ථාව තිබියදීත්, හිතාමතා සතෙකුව වාහනයකට යට කිරීම, අසික්ෂිත වැඩක්. අයාලේ යන බල්ලන් බළලුන් බේරන්නට ගොස්, ජීවිතය නැති කරගත් රියදුරන් (විශේෂයෙන් මෝටර් බයිසිකල් පදින්නන්) සෑහෙන්න ඉන්නවා. පාරේ ඉන්න සතකු බේරන්නට ගොස් පාර අයිනේ ඉන්න මිනිසකුගේ ජීවිතය නැති විය හැකියි. ඒ වෙලාවට කවුරුවත් එවැනි රියදුරෙකුට අනුකම්පා කරන්නේ නැහැ. හොඳහැටි ගහනවා මිසක්. එවැනි ගොන්පාට් වලට අපේ රට හරිම ප්‍රසිද්ධයි.මම මගේ වාහනය පැ.කි.මී. 60 පමණ වේගයෙන් පදවද්දී, හදිසියෙන් බල්ලකු/බළලකු පාරට පැන්නොත් බ්රේක් ගහන්නේ නැහැ. (බළලුන් යටවීම පිලිබඳ මිත්‍යාව මම විශ්වාස කරන්නෙත් නැහැ)මොකද, එහෙම කිරීමෙන්, මගේ හෝ මා සමග වාහනයේ යන තව කෙනෙකුගේ ජීවිතය නැති විය හැකියි. මා අනුගමනය කරන (අදහන නොවේ) බෞද්ධ දර්ශනය අනුව,එසේ බල්ලකු/බළලකු යටවී මියයාමෙන් මට පවු සිද්ධ නොවන්නේ, මගේ චේතනාව බල්ලා/බළලා මැරීම නොවන නිසයි. අපිට කළහැකි හොඳම දෙය තමයි අයාලේ යන සතුන් ඇතිවීම වලක්වා ගැනීම. නිකම් පාරේ බෝවන බල්ලන් බළලුන් දිහා කවුරුන්වත් බලන්නේ නැහැ. නමුත් ඒ සතකු තමන්ගේ නිවස ඉදිරිපිට වාහනයකට යටවුනොත් අපට වේදනාවක් හා කෝපයක් ඇතිවනවා. ඒ වේදනාව සහ කෝපය ඇතිවීමට අදාළ හේතුව නැති කරගන්නවානම් ඒ ප්‍රශ්න මොකුත් නැහැ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඇත්ත වශයෙන්ම
Deleteඑකග වෙමි...
ReplyDeleteමේ මම කියවපු දෙවෙනි කතාව. බණ්ඩා හොඳ සංවේදී හදවතක් තියෙන කොල්ලෙක්නෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බොහොම ස්තුතියි..
Deleteබාලදක්ෂයා සත්ව කරුණාව ඇත්තෙකි කියන එක සැබවිනම ඔයා ඔප්පු කරලා
ReplyDeleteමගේ ඇස් ඉස්සරහපිට අවුරුදු දවසක බලු පැටියෙක් කාරෙකකට යටවුනා... මං ඇස් දෙකම වහගෙන ආයිත් හැරිලා දිව්වා.. ඊට පස්සේ හිත තද කරගන ඒ පැත්ත බලනකොට වාහනේ ඩ්‍රයිවර් බලු පැටියව අතේ තියාගෙන අතගානවා.. මං ළඟට ගියාම ඒ කොල්ලා ඇස්දෙකේ කඳුළු පොරෝගන මං දිහා බැලුවේ.. අපේ ගෙවල් ළඟම නිසා මං ඌව අපේ ගෙදර අරන් ගියා.. ඒත් බලු පැටියගේ පස්ස පැත්ත හොඳටම චප්ප වෙලා.. අවුරුදු දවස්නේ.. දොස්තරලත් නෑ.. එදා හවසම ඌ මැරුණා..
ReplyDeleteහරියටම අවුරුද්දකට පස්සේ මට ආයිත් ඒ කාරෙක හම්බුනා... ආයිත් අවුරුදු දවසක.. මාව දැක්ක ගමන් වාහනේ නවත්තලා අර කොල්ලා ඇහුවේ බලු පැටියට මොකද උෙන් කියලා... මං ඌ මැරුනා කිව්වම ලොකු සුසුමක් පිටකරලා කිව්වා “ මට දවස් ගානක් යනකම් නින්ද ගියේ නෑ ඒ සිද්ධියෙන් පස්සේ.. ඇස් වහන හැම පාරම ඔයා ඇස් දෙක අත් දෙකෙන් වහගෙන දුවපු හැටි පෙනී පෙනීම තිබ්බා” කියලා.. අපි ටිකක් බලු පැටියා ගැන කතා කරලා බායි කියලා ඈත් උනා... ඊට පස්සේ නම් මම ඒ කාරෙක දැක්කේ නෑ ආයිත්..
ඒ බලු පැටියගේ සිද්ධිය අදටත් මගේ ඇස්වලට කඳුළු උනන, හරි අමුතු මතකයක්... මොකද ඒ කාරෙක අවුරුද්දකට පස්සේ ආයිමත් මට හම්බුවෙලා, ඒ මනුස්සයා මාත් එක්ක ආයිමත් ඒ සිද්ධිය ගැන කතා කරපු එෙක් මට පුදුමාකාර මනුස්සකමක් දැනුනා..
අපේ ගෙදරත් බල්ලෙක් ඉදලා ඔහොම දුක් විදලා මැරිලා ගිය නිසා දන්නවා බල්ලෙක් මලාම තියෙන දුක. ලොකු ලොකු පව්ල්වල එවුන් හදනවා වගේ බල්ලො හැදුවෙ නැති වුනාට දෙන දෙයක් කාලා පවුලෙම එකෙක් වගේ කියලා හිතන් ඉන්න බල්ලා නැති වුනාම තියෙන දුක දැනෙන්න බල්ලෙක් හදපු එකෙක්ම වෙන්ට ඕනි.
ReplyDeleteඅනේ පවු ජිමියා...මගේ බල්ලට ඕක උනානම්(අනේ වෙන්නනම් එපා)මම කරන්නෙත් ඕකම තමා...අර වගේ කතාවක් කියපු මිනිස්සු කවද හරි දවසක තමන්ගේම මිනිහෙක්ට ඔය වගේ දෙයක් වුනත් කියන්නේ ඕකම තමා..කාලකන්නි ධාර්මිකයෝ....
ReplyDelete