දෙවන දිනය මෙතනින්
තුන්වන දිනටත් උදා වුනේය. කලින් දින නිදා ගත් තැන, නිදා ගත් ආකාරය පෙනෙන්නේ
දැන්ය. අවුලක් නැත. එක එකා අමාරුවෙන් නැගිට ගත්තේය. චින්තාගේ අම්මා තේ සාදා
දුන්නේය. යන්තම් උඩින් පල්ලෙන් වාගේ මුහුණ
සෝදාගත්තේය. උදේ කෑම සකස් වන තුරු ෆොටෝ ගැසුවේය, මල් කැඩුවේය. කෑමෙන් පසු නැවතත් පාරේය. මේ චින්තාගේ ගමය. යන යන තැන
ඉන්නේ නෑදෑයන්ය. පැයක් පමණ කාලයකදී බිස්කට් සමග තේ කෝප්ප සතරක් බීමටද, ජෑම් පේර
ගසක් සුද්ද කිරීමටද අවස්ථාව සැලසුනේය.
පුවක් කොලපු පැද්දේය, බළල් බැළලි
ආදරයක් දුටුවේය.
පාර අයිනේ පළබරවු ජම්බෝල ගසක් හමුවුයේය.
ගල්ගසා ජම්බෝල කැඩීමට බලවත් උත්සහයක් ගත් නමුත් හරිගියේ නැත. අන්තිමට චින්තා ගසට
නැග්ගේය. බණ්ඩාත් අවත් කඩන ජම්බෝල ඇල්ලීමේ කාර්යය බාර ගත්තේය. බැරිවෙලාවත් අල්ලා
ගන්නට බැරි වුනේ නම් ජම්බෝලෙ නවතින්නෙ අඩි පනහක පමණ පල්ලමකය. නමුත් බණ්ඩාගේත්
අවාගේත් හොදකමට ගෙඩි තුන හතරකට වඩා පල්ලමට ගියේ නැත. ශුද්ද ලාභය ලෙස ගෙඩි තුනක්
ඉතුරු විය. එතැන් සිට නැවත චින්තලාගේ
ගෙදරට යන තුරු,ජම්බෝල වලින් ටීක් ගැසුවේය, පොර පොල් ගැසවේය. පාර දිගේ රෝල්
කරේය.
“ආ මේ ළමයි ජම්බෝලත් කඩලා.. අපව දුටු
චින්තාගේ අම්මා කීවේය.. ඕව තලාගන්න එපා.. තිත්ත වෙනවා..
තලලා ඉවරය.. කට වසා ගෙන සිටියේය.. සාලේ පැදුරක් දමාගෙන ජම්බෝල ලෙලි ගසාගෙන
කන්නට වුනේය.
චින්තාගේ අම්මා හරිය. කට හාරාගෙන යයි. කනවා තබා හිතන්නටවත් බැරිය.
ගෙඩි තුනම ලෙලි ගසා බැලුවේය. සේරම එක වගේය. මෙලෝ රහක් නැත. කටේ අමුත්ත යන්නට පැණි
දොඩම් මිරිකා බිව්වේය.
දිවා ආහාරයෙන් පසු චින්තාගේ ආච්චිලාගේ ගෙදර යාමට පිටත් වුනේය. එය පැය දෙකක
පමණ ගමනක්ය. චින්තලාගේගම බඹරපානය. එහි සිට වැලිමඩටත්, වැලිමඩසිට විදුරපොලත් දක්වා
බසයෙන් ගමන් කලේය. බසයෙන් බැසූ තැන සිට කිලෝ මීටර් දෙකක පමණ දුරක් ගමන පයින්ය.
චින්තාගේ ආච්චි හා සීයා අපව සාදරයෙන් පිළිගත්තේය.
වටේටම ඇත්තේ අල වතුය. ගෙඩි පිරුන අලි පේර ගස්ද සැහෙන්න තිබුනේය. ආච්චිලාගේ
වත්තේ මිදි වැලක්ද තිබුනේය. අප යන විට නම්
එහි පොකුරු පිටින් මිදි තිබුනේය. ටික
වෙලාවකින් බලද්දී බෙහෙතකටවත් ගැනීමට මිදි නැත. කුමක් වූවාදැයි දන්නේ දෙයියෝ පමණි.
ආච්චිගේ උණුසුම් තේ කෝප්පයක් බීමෙන් පසු නාන්නට තැනක් සොයා කට්ටිය පල්ලම්
බැස්සේය. (නිවස පිහිටා තිබුනේ කුඩා කන්දක් මුදුනේය) කලකින් වැස්සක් වැටී නැති නිසා
ඔය සිදිලාය. ගල් අස්සෙන් හීනියට ගලාගෙන ගිය වතුරද බොර පාටය. ඔයෙන් නෑම අතහැර
පීල්ලට ගියේය. පීල්ලේ වතුරද අඩුය. නමුත් සීතල වැඩිය.
මෙහෙම ජුන්ඩ ජුන්ඩ නෑවම සීතල වැඩියි බන්..
හිටපන්කො වැඩක් කරන්න..
අවා සෙරෙප්පුවක් ගෙන පීල්ලේ කට
වැසුවේය. දිය පහරක් හරස් කොට බැම්මක් බැද, ඒ මැදින් ලොකු බටයක් සවි කිරීමෙන් පීල්ල
සාදා තිබුනේය. අවා සෙරෙප්පුව තබා වැසුවේ මේ බටයයි. ටික වෙලාවක් යන විට බැම්මට එහා
පැත්ත වතුරෙන් පිරෙන්නට වූයේය. වතුර සෑහෙන පමණ පිරුණ විට සෙරෙප්පුව අයින්කර බටයට
ඔලුව ඇල්ලූ විට අධික වේගයෙන් එන වතුර නෑමට හැකිය. එකවර වතුර ගොඩක් එන නිසා ගොඩක්
වෙලා ඔලුව අල්ලාගෙන සිටීමට අවශ්‍ය නැත. මෙලෙස මාරුවෙන් මාරුවට කට්ටියම හොද හැටි
නාගත්තේය. නාගෙන එනවිට කලුවර වැටිලාය.
ගමේ පන්සලේ පින්කමකි. ආච්චි එයට සහභාගී වීමට සිටියත් හිටිහැටියේ කඩා පාත්
වු කොලු රංචුවට රෑ කෑම සැදිමට ඇති නිසා ගෙදර නැවතුනේය. ආච්චි පව්ය. ඇයගේ අඩුව
පුරවන්නට අප පන්සල් ගියේය. පන්සල පිහිටා තිබුනේද කන්දක් මුදුනේය. හති හලාගෙන කන්ද
නැගගෙන පන්සලට ගියේය.
ගියාට වැන්දේ නැත. වදිනවා මෙන් ෆොටෝ ගැසුවා පමණි. නාඹර
උපාසිකාවන්ගෙන් පන්සල පිරී තිබුනේය. නමුත් අපි ඔවුනගේ ෆොටෝ ගැසීමට ගියේ නැත. මේ
ගමේ කෙල්ලෝ එච්චර ලස්සන නැත. ලස්සන වුනානම් ,අම්මලා පුන්චි අම්මලා බාප්පාලා ලොකු මාමලා
කොච්චර වටේ සිටියත් ෆොටෝ නොගසා සිටින්නේද නැත.
පන්සලෙන් පිටවුයේ බඩගින්න විසින් අණ කරනු
ලැබු විටය. ආච්චි කෑම ලෑස්ති කොට තිබුනේය. කෑමෙන් පසු සුපුරුදු පරිදි නින්දය.
සිව්වන දිනය (අවසාන දිනය)
අද ගමනේ අවසාන දිනයයි. පාන්දරින්ම පිටත් වීමට අදහස තිබුනත් විදුරපොලින් පිටත් වන විට දහයද පසුවී තිබුනේය. විදුරපොලින් වැලිමඩටත්
වැලිමඩින් බදුල්ලටත්, බදුල්ලෙන් 99 කොළඹ බසයක නැගී මීපෙ හංදියටත්, එතැන් සිට
තුන්රෝ රියකින් අවාගේ ගෙදරටත් පැමිණීමෙන් චාරිකාව සමාප්ත විය.
මම මේ වගේ බ්ලොග් එකක් හොය හොයා හිටියේ ,,සංචාරක සටහන් ..නියමයි දිගටම ලියන්න. ඔන්න ඔබව මගේ කමත සින්ඩියට ඇතුළ්කර ගත්තා.
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබේ සහයෝගයට බොහොම ස්තුතියි.. නැවතත් හමුවෙමු.
Delete