ගෙපැලේ මිත්තරයෝ

රාවණා ගුහාව හා නිල්දිය පොකුණ චාරිකාව - Rawana cave

                       කල් තියා සංවිධනය කරන කිසිදු චාරිකාවක් මෙතුවක් කාලයකට යන්නට ලැබී නැත. සියලුම චාරිකාවන් පැයකින් දෙකකින් කතා කරගෙන , එහෙනම් හෙට යමුයි කතා කරගත් ඒවායි. මේ චාරිකාවත් එසේමය.
                    චින්තකත් මාත් රාවනා ගුහාවට රිංගන්නට උත්සහ කරන්නේ වසරකට අධික කාලයක සිටයි.  දෙතුන් වතාවක්ම ගමන සංවිධානය  උනත් මොන මොනවා හෝ හේතූන් නිසා ගමන යැවුනේ නැත. රැකියාවේ කටයුත්තකට අනුරාධපුර යන අතමගකදී ගන්නා ලද හදිසි තීරනයකට අනුව හෙට රෑ කෝච්චියෙන් යමු යැයි අනුරාධපුරයේදීම  ස්ථීර කරගත්තා නොවුනා නම්, මෙවරද චාරිකාව යැවෙන්නේ නැත. තීරණය හදිසියේ ගත් නිසාවෙන් සහභාගීත්වය හතරදෙනෙකුට සීමා වූවේය. සමහරුන්ට පෙම්වතිය සමග බුක් ෆෙයාර් යැමට තිබුනේය. සමහරුන්ට  විවිාහ වීමට සූදානම් වීමට තිබුනේය.  එන්න වෙන්නෙ නෑ යැයි පැවසූ බහුතරයකම හේතුව වූයේ පෙම්වතියයි. 

                         හෙට රෑ, එනම්  සැප්තැම්බර් 24 වෙනිදා රාත්‍රී 8.00ට බදුල්ල බලා පිටත්වන දුම්රියට ගොඩවීම ගමනේ පළමු පියවරයි. ප්රවේශ පත්‍ර කලින් වෙන් කරවා නොගත් නිසා වේලාසනින් ගොස් ආසන ලබා ගැනීමේ ක්‍රම වේදය බාවිතා කල අපි කරදරයක් නැතිව බදුල්ල බලා පිටත්වන දුම්රියේ වාඩිවී රාත්‍රි ආහාරය ලෙස බිත්තර රොටි කෑවෙමු.  උලුඳු වඩේ , ඉස්සෝ වඩේ , පරිප්පු වඩේ හා කෝපි වලින් සන්තර්පනයවෙමින් වරින් වර නිදා ගනිමින් දුම්රියේ ගමන් කල අපි 25 වෙනිදා උදෑසන 6.30 පමණ වන විට ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස ගත්තෙමු.  නගරය තවමත් අඩ නින්දේ නිසාදෝ  උදැසන ආහාරය සොයා ගැනීමට නම් පුංචි පහේ රවුමක් ගැසීමට සිදු වුනේය.

                      ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල පසුකර කිලෝමීටර් 4 පමණ ගිය පසු හමුවන මං සන්දියකින් දකුණට හැරී තවත් කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කළ පසුවය රාවණා ගුහාවට ගමන් කරන මාර්ගය හමු වන්නේ.(ඇල්ල නගරයේ සවිකර ඇති ඇල්ල නගරයේ සංචාරක ස්ථාන පිලිබද  සඳහන් පුවරුවේ රාවණා ගුහාවක් පිලිබදව සඳහන් වන නමුත් එය අප මේ සොයා යන රාවණා ගුහාව නොවේ.) 
                     අප මුලින්ම ගමන් කලේ කරදගොල්ලේ පදිංචි මෙත්තානන්ද මහතා සොයායි. ඒ මහතාගේ නිවෙස පිහිටා ඇත්තේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 16 කනුව අසලයි. අප ඒ දුර ගමන් ගත්තේ පාරේ ගමන් කළ බට්ටා ලොරියක නැගී ගෙනයි.මෙත්තානන්ද මහතාගේ දුරකථන අංකය රාවනා ගුහාව හා සම්බන්ධ විවිද වෙබ් අඩවි වල සදහන්ව ඇති අතර , මේ ගුහාව වඩාත් ප්‍රසිද්දියට පත් කිරීමට දායක වූ ස්වාධීන රූපවාහිනීයේ වෙනස කණ්ඩායමට මග පෙන්වා ඇත්තේද මෙතුමායි. අප අසා දැනගත් තොරතුරු වලට අනුව ගුහාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේද මෙත්තානන්ද මහතාටයි. 
                   මෙත්තානන්ද මහතාගේ නිවසේදී පිරිසිදු වීම් හා අනිතුක් අවශ්‍යතා සම්පූර්ණ කරගත් අපි ත්‍රීරෝද රථයකින්  කරඳගොල්ල අතුරු මාර්ගයේ බෑවුම් සහිත මාර්ගයක කිලෝමීටර් 4කට ආසන්න දුරක් ගමන් කළෙමු. එතැන් සිට වනගත මාර්ගයක තවත් කිලෝමීටරයකට ආසන්න දුරක් පයින් ගමන් කළෙමු. (එක් පසෙකින් මිනිස් අතකින් සෑදුනු ගල් වැටියකට මායිම්ව පිහිටා ඇති අතහැර දමන ලද හේනක ස්වරූපයක් ගත් ද්වීතිය මට්ටමේ වනයක, එතරම් දුශ්කර නොවූ මාර්ගයක කිලෝමීටරයක් පමණ ගමන් කලෙමු.
                        බැලු බැල්මට ගුහාවකට ඇතුල් වන මාර්ගයක් යැයි නෙපෙනෙන,  යන්තම් රිංගා ඇතුල් විය යුතු තරමේ  ගුහා දොරක්ය මේ සුප්‍රසිද්ධ රාවණා ගුහාවේ මුව දොර. ඉතින් අපි රිංගුවෙමු. මෙත්තානන්ද මහතාගේ මග පෙන්වීම යටතේ  දණ ගසාගෙන බඩගාගෙන අපි ගුහාවට රිංගුවෙමු. බෑග් මලු කරගසාගෙන යා නොහැකි බැවින් ගුහා දොරින් යන්තම් ඇතුලු වූ වහාම වාගේ අප ගෙන ගිය සියලුම බෑග් පසෙකින් තැබුවෙමු. වතුර බෝතලයක් හා බිස්කට් පැකට්ටුවක් පමණක් රැගෙන විදුලි පන්දම් දල්වා ගෙන ගුහාව තුලට ගමන් කළෙමු. නිවැරදිවම කිවහොත් ගුහාවේ පතුලට පහලට පල්ලම් බැස්සෙමු. මුල් අදියරේ සෑහෙන්න දුරක් කෙලින් සිට ගත නොහැකි යන්තම් දණ ගසාගෙන වාගේ යා යුතු වූ අතර අපගේ විදුලි පන්දම් වල එලිය ප්‍රමානවත් නොවුනේය. දක්ෂ අත්දැකීම් බහුල මග පෙන්වන්නකු වූ මෙත්තානන්ද මහතා පෙර ගමන් වලදී බාවිතා කළ හදිසියකදී ප්‍රෙයා්ජනයට ගැනීම සදහා තබා තිබූ වීදුරු බෝතල් කිහිපයක් සොයා ගත්තේය. කඳවුරු බැදීම සඳහා අප ගෙනගිය බූමිතෙල්  වීදුරු බෝතල් වල පුරවා කටට පාන්කඩයක් ඔබා දැල්වීමෙන් දීප්තිමත් ආලෝකයක් ලබා දෙන පන්දමක් සකසා ගැනීමට අපට හැකි විය.  
                         රාවණා ගුහාවේ ගමන් කිරීම අතිශය දුශ්කර කාර්යයකි.  පොළව අධිකව ලිස්සන සුලු වූ අතර අප ගමන් කල මග දෙපසම පොළවේ ගැඹුරු විවරයන් දක්නට ලැබුනේය. සමහර විවරයකින් ගල් කැටයක්  දැමූ විට බොහෝ වේලා යන තුරුම ගල් කැටය එහේ මෙහේ වදින ශබ්දය ඇසෙන්නේය. කඹයක ආධාරයක් නොමැතිව ගමන් කළ නොහැකි මට්ටමේ ස්ථානද කිහිප අවස්ථාවකදීම හමුවූයේය. 
පියවි ඇසක තරම් සුන්දර ලෙස කැමරා කාචයක සටහන් වන්නේ නැත.

                      තරමක් පහලට යන්නට යන්නට ලිස්සන සුලු වූ දුහුවිල්ල අධිකව ලිස්සන සුලු මඩ තට්ටුවකට පරිවර්තනය වී තිබුනේය. බඩගාගෙන ගිය ගමන කෙලින් සිට ගෙන ගමන් කළ හැකි මාර්ගයක් බවට පත්ව තිබුනේය. පියස්ස අඩි 30ක් පමණ උසින් පිහිටි  සුවිසල් ගුහාවක පහලට ගමන් කලෙමු.  පියස්සෙන් ගැලවුනු පොඩි පොඩි ගල් කැබලි, දුහුවිල්ල හා මඩ වලින්  අප ගමන් කල මාර්ගය වැසී තිබූ අතර එනිසාවෙන් ගමන තවත් දුශ්කර වූවේය.  සුවිසල් ශාලාවල ඡායාරූප ගැනීම එතරම් සාර්ථක නොවූයේ  අපගේ විදුලි පන්දම් වලින් ඡායාරූපයකට අවශ්‍ය තරම් ආලෝකය නොසැපයූ නිසාවෙනි. 
                          නිල් දිය පොකුණ අපට හමුවූයේ ගුහාවේ ආරම්භයේ සිට පැයක පමණ ගමනකින් පසුවය. බොහෝ ලංව බලන තුරුම ජලය ඇති බවක් නොපෙනෙන තරමටම අතිශයින් පැහැදිලි වූ නිල් දිය පොකුනේ ජලය බෙහෙවින් සිසිල් වූ අතර, වෙහෙස වී සිටි අපි දියට පැන නා ගත්තෙමු. පොකුනේ අප සිටි ඉවුරට විරුද්ධ දිශාවේ ඉවුර අපට ගලක් විසි කිරීමට නොහැකි තරමේ දුරකින් පිහිටා තිබුනේය. පොකුණ ඉතා ගැඹුරු වූ නමුත් ජලයේ පැහැදිලි කම නිසාවෙන් ඒ බව පෙනෙන්නේ නැත. මෙත්තානන්ද මහතා පවසන ආකාරයට පොකුනේ සමහර තැන් අඩි 30කටත් වඩා ගැඹුරුය.

                 නෑමෙන් පසු ගෙන ආ බිස්කට් කෑ අපි තවත් ටික වේලාවක් ගිමන් හැරීමෙන් පසු ආපසු ඒමට පිටත් වූයෙමු. පහලට ආ මාර්ගයේම නොව ගුහාවේ තවත් පැත්තක් හසු වන සේ ගමන් කල අපි  තවත් සුවිසල් පියස්සකින් හෙබි විශාල ගුහාවකට ඇතුලු වූයේය. විදුලි පන්දමේ එලියට අඩි 20ක් හෝ 30 පමණ උසින් පිහිටා තිබූ පියස්සෙ විවිධාකාර හැඩතල මතුව පෙනුනේය. එහි සුන්දරත්වය විදීමට නම් ගුහාව ගවේශණය කළ යුතුමය. පියවි ඇසින් එය නැරඹිය යුතුමය.
 
                ගුහාව එක්තරා ආකාරයක වංකගිරියකි. අදුර නිසාත් සෑම තැනකම වැටී ඇති ගල් කැබලි නිසාත් නිසි මාර්ගෝපදේශකයෙකු නොමැතිව ගමන් කලහොත් අතරමං වීමට ඇති ඉඩ ඉතා ඉහලය. ගමන් කිරීමට හැකි ලෙස පෙනෙන බොහෝ තැන් පය ගැසීමටවත් නුසුදුසු තැන් බව අප අත්දැකීමෙන්ම දැන ගත්තේය.  මෙත්තානන්ද මහතාගේ මග පෙන්වීම යටතේ ගමන් කළ අපි පැය තුනකට පමණ පසු නැවතත් හිරු එලිය යටතට පැමිනියෙමු.  

                     ගුහා ගවේශනයෙන් පසු  රාවණා ඇල්ලට පැමිණ දිවා ආහාරය ගත් අපි එතැන් සිට බස් රථයකින් ඇල්ල නගරයට පැමිණ ඇල්ල දුම්රිය මග ඔස්සේ ආරුක්කු නමයේ පාලම වෙත පැමින එහි කඳවුරු බැද ගත්තෙමු. දෙවන දිනයේ එතැන් සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මග දිගේම ගමන් කල අපි, දුම්රිය ස්ථානයේ සිට   පා ගමනින්ම බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණ බස් රථයක නැගී නිවෙස් බලා පිටත් වූයෙමු.





කරඳගොල්ලේ මෙත්තානන්ද මහතාගේ දුරකථන අංකය -  0726108392
රාවණා ගුහාව හා නිල් දිය පොකුණ චාරිකාවේ ඡායාරූප  ඇල්බමය  
දුම්රිය මාර්ගයේ පා ගමන හා රාත්‍රි කඳවුරේ ඡායාරූල ඇල්බමය  


 

19 comments:

  1. හොඳ චාරිකා සටහනක්. මා කාලයක් ඔය පැත්තේ සේවයේ සිටියා.

    ReplyDelete
  2. නිල්දිය පොකුණ නම් හරි අපූරු ඇති.. නියම චාරිකාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. නියමම චාරිකාවක්...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. අපි ඔය පැත්තේ වෙනත් ට්‍රිප් එකක් නම් ගියා. ඒ ඇල්ල ඇඩ්වෙන්චර් පාක් එකට. මේකට රිංගන්නමයි දැන් හිත බලමු. මෙත්තානන්ද මහත්තයාගේ නම්බර් එක තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  4. Guhawa soyagatte Meththanandaya nove...Rawana Rajjuruwo....kiyala niwaradi wenna one neda...

    ReplyDelete
  5. Nil diya pokunen naala guhawen aeliyata awahama apahu nanna pot aekak tiyanawada bando....aparade ubala naawe.... :)

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. කරඳගොල්ලේ මෙත්තානන්ද මහතාගේ දුරකථන අංකය - 0726108392...

    ReplyDelete
  10. mage ahinsaka comments Banda wisin delete karana ladi......mekada madya nidahasa kiyanne.......?

    ReplyDelete
  11. පට්ට ටුවර් එකක්නෙ බං...කද මහත මට නම් මම හිතන්නෙ ඔය ගමන යන්න බැරි වේවි....

    ReplyDelete
    Replies
    1. හි හි හිහි.....
      එහෙම හිතෙන තැන් නැතුවම නෙමෙයි.

      Delete
    2. කද මහත විsa beejaa....

      Delete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.