ගෙපැලේ මිත්තරයෝ

දුම්බර කඳුකරයේ දූවිලි ඇල්ල..




            ගමනේ ආරම්භය වෙනදා මෙන්ම කොළඹ කොටුවෙන්ය.  දුම්රියෙන් නොව ලංගම බසයකින්ය. පාන්දර 4.30 වන විට නුවරටද, නුවරින් 4.50 ට පිටත්වන දුම්රියෙන් මාතලේටද, මාතලෙන් උදෑසන 8.00 ට පිටත්වන බසයේ නැගී රත්තොට - රිවස්ටන් - පිටවල පතන හරහා මැද්දෙඇලට ට පැමිනි අපි එතැන් සිට පා ගමනින් වැද්දා පැනි ඇල්ල දක්වා පැමිණියෙමු. 

            ගමනේ සැබෑ ඇරබුම ඇත්තේ මෙතැන් සිටය.   දූලි ඇල්ල / දුවිලි ඇල්ල නමින් ප්‍රචලිත දිය ඇල්ලක් සොයා යෑමයි අපගේ අරමුණ.

           අන්තර්ජාලයේ සොයා බැලු විට බලංගොඩ කල්තොට දුවිලි ඇල්ල,  ගාල්ල- නෙලුව- කොස්මුල්ල දුවිලි ඇල්ල හා දුම්බර (නකල්ස්) කඳුවැටියේ දුවිලි ඇල්ල වශයෙන් දිය ඇලි ත්‍රිත්වයක් හමුවේ.   එයිනුත්  ඇල්ල කරා වැටුනු මාර්ගය අතිශයින් දුශ්කර වීමත්, ඇල්ල පිටුපස සිට නැරඹීමට හැකි වීමත් යන කරුණු  නිසාවෙන් දුම්බර කඳුකරයේ පිහිටා ඇති දූලි ඇල්ල සුවිශේෂී දිය ඇල්ලක් බවට පත්වන්නේය.  

දුම්බර කඳුකරයේ දූවිලි ඇල්ල වෙත ළගා වීමට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් ඇත්තේය.  මාතලේ- රත්තොට- රිවස්ටන්-පිටවල පතන- මැද්දෙඇල හරහා  වැද්දා පැනි ඇල්ල -වල්පොලමුල්ල මාර්ගය එකක්ය .  දෙවැන්න දඹුල්ල පල්ලේගම රඹුක්ඔලුව ග්‍රාමය හරහා වැටී ඇති මාර්ගයය.


           අප ගමන් කරන්නේ පළමුව සඳහන් කල වල්පොලමුල්ල මාර්ගයයි.  අපට ගමන් කරන්නට සිදු වන්නේ නකල්ස් වන රක්ෂිතය තුලට වන නිසාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ලබා ගැනීම අනිවාර්යය කරුණක් වෙයි. එසේ නොවුනහොත් අනවසරයෙන් ඇතුලුවීමේ වරදට දඩයකට හෝ සිරදඩුවමකට හෝ මේ දඩුවම් දෙකටම ලක්වීමේ අවදානමක් ඇත. ගැමියන් මුදලක් සොයා ගැනීමේ අරමුනින් ඔබට මාර්ගය පෙන්වීමට ඉදිරිපත් වීම සුලබය. එසේ වුවත් අවසරය බලා ගැනීම නම් අනිවාර්යමය. 

           අප වැද්දා පැනි ඇල්ලට පැමිනෙන විට  පෙරවරු 11.30 ට පමන වන්නට ඇත. වැද්දා පැනි ඇල්ලලෙන් මුහුණ කට සෝදාගෙන. මදක් ගිමන් හැරි අප, අපගේ ගමන් මලු සකසා ගෙන පිටත් වන විට දහවල් 12.00 පමණ වන්නට ඇත. එතැන් සිට ඇටැන්වල ග්‍රාමය දක්වා ඇත්තේ කොන්ක්‍රීට් යොදා සැකසු පාරක්ය.  තෙල්ගමු ඔය හරහා ඉදිවන පාළම සකසා අවසන් වූ පසු ඇටැන්වල දක්වාම වාහනයකින් ගමන් කිරීමට හැකිවනු ඇත. එතෙක් ඒ දුරත් පා ගමනින්ම යා යුතුය.  කළකින් වැසි නොවැටුනු නිසාදෝ දැඩි අව්රශ්මිය තවත් දැඩි කරන්නට අවට ඇති කාශ්ඨක බවත් ඉවහල් වූ අතර කිලෝමීටරයකට පමණ ආසන්න දුරක් වෙල් යායක් මැදින් කොන්ක්‍රිට් මාර්ගයක ගමන් කිරීමට සිදු වීම අවස්ථාවේ හැටියට අතිශයින් දුශ්කර වූ බව කිව යුතුමය. 

ඈතින් පේන්නේ මානිගල කඳු වැටියයි

        ඇටැන්වල ගමෙන් කොන්ක්‍රීට් පාර අවසන් වන අතර, එතැන් සිට ඇත්තේ වනය හරහා වැටුනු අඩි පාරවල්ය. ඇටැන්වල ගමේ සිට මානිගල දක්වා දිවෙන අඩි පාරේ කිලෝමිටර දෙකක පමණ දුරක් ගිය විට හමුවන මංසන්ධියෙන් දකුනු පස මාර්ගය අපගේ මාර්ගයයි. කෙලින් මාර්ගය  මානිගල දක්වාය.  
කෙලින්ම ඉදිරියට දිවෙන මාර්ගය මානිගල වන අතර දකුණු පස ඉහලට දිවෙන මාර්ගය දුවිලි ඇල්ල මාර්ගයයි

       දකුනු පස මාර්ගයේ පැයක පමණ ගමනකින් පසුව සොබා දහමේ අපූර්වම නිර්මානයක් දැකගන්නට ලැබෙන්නේය. ගන වනාන්තරයක් මැද්දේ - හොදින් තණකොල කප්පාදු කල- පිට්ටනියක් දක්නට ලැබීම අතිශය දුර්ලබ දර්ශනයකි.   වර්ශාකාලයට වතුර පිරීමෙන් තාවකිලිකව ජලාශයක් නිර්මානය වන නිසාවෙන් පායන කාලයට මෙසේ පිට්ටනියක් ඉතිරි වන බවයි  අපට දැනගන්නට ලැබුනේ. 



            අප මෙම ස්ථානයට ඇත් සොහොන යැයි නම් තැබුවෙමු.ඇත් සොහොනේ සිට මීටර් 700 හෝ 800 හෝ පමණ ගිය විට වල්පොලමුල්ල ගම්මානයට පැමිනීමට හැකියි. වල්පොලමුල්ල අතහැර දැමූ ගම්මානයක් යයි පැවසීම වඩාත් නිවැරදියි. එනමුදු විවිද අවශ්‍යතාවයන්ට වනයට පැමිනෙන ගැමියන් රාත්‍රි නවාතැන් ගැනීමට ඉතිරි කරගත් එක් නිවාසයක් පමණක් අදටත් එහි දක්නට ලැබෙන අතර,  සංචාරය සඳහා යන්නවුන්ටද  එය අගනා නවාතැන් පොළකි.

           වල්පොලමුල්ලේ සිට මඳ දුරක් ගමන් කරන විට අතහැර දැමූ කුඹුරු යායක්  දැකගත හැකියි.  හෙල්මලු ක්‍රමයට සකසා ඇති මේ කුඹුරේ සිට ලකේගල කන්දත්, දූවිලි ඇල්ල හා සම්බන්ධ දිය පහරත් දැකගත හැකියි.  අප මද වේලාවක් මේ ස්ථානයේ ගිමන් හැරියේ මෙතෙක් ගමන් ගත් මාර්ගයනට වඩා අතිශය දුශ්කර මාර්ගයක ඉදිරියට ගමන් කිරීමට ඇති නිසාවෙන්ය.   
මැදින් පෙනෙන්නේ දුවිලි ඇල්ලට පහලින් ඇති දිය ඇල්ලක්ය - දකුනු පස ඉහලින් පෙනෙන්නේ ලකේගල කන්දයි.

            විටෙක අතිශය දළ බෑවුම් දිගේ ඉහළට නගිමින්ද තවත් විටෙක එවැනිම වූ දළ බෑවුම් දිගේ පහලට බසිමින්ද අතිශය දුශ්කර වූ මාර්ගයක ගමන් කල අපගේ ගමන තවත් අසීරු වූයේ, කලෙකින් නොවැටුනු වැස්ස නිසාවෙන් මතුවුනු දුහුවිල්ලෙන් මාර්ගය තවත් ලිස්සන සුලු වීම නිසාවෙන්ය.    

         සවස 3 පමණ වන විට ගමනේ තවත් එක් වැදගත් ස්ථානයකට පැමිනීමට අපට පැමිනීමට හැකි විය.   අප මෙතෙක් ආ මාර්ගය  එක් මාර්ගයක් රඹුක්ඔලුව ගම්මානය දෙසටත් අනෙක් මාර්ගය අපගේ ඉලක්කය වන දූවිලි ඇල්ල දක්වාත් වන ලෙස  බෙදෙන්නේ මෙහිදීය.  ගම්වැසියන් විසින් මේ ස්ථානයට බවිතා කරන නමක් ඇතත් අපහට එය නිවැරදිව දැන ගන්නට ලැබුනේ නැත. 
ගස් අතරින් දකුණට විහිදී යන්නේ අප ආ මාර්ගයයි. වම් පස පහලට ඇති මාර්ගය ගඟ හරහා දිවෙන මාර්ගයයි

           මෙතෙක් ගමන් ගත් මාර්ගයෙන් දකුණට හැරී ගඟෙන් එගොඩ දූවිලි ඇල්ල මාර්ගය වැටී ඇති අතර, ගඟ බසිනා දිශාවට ගඟට සමාන්තරව ගම්මානය දෙසට වූ මාර්ගය වැටී ඇත්තේය.  අප ගඟෙන් එගොඩවී ඉදිරියටම ගමන් කලෙමු.  පැයක පමණ ගමනකින් පසුව  තවත් දිය ඇල්ලක් වෙත පැමිනීමට අපට හැකි විය .  එය කලු වල ඇල්ල / කලු වලල්ල ඇල්ල යන නමින් හැදින්වෙන සුන්දර දිය ඇල්ලකි.  දිය පහර වැටෙන තැන ගැඹුරු තටාකයක් නිර්මාණය වී ඇති අතර ගැඹූර නිසාවෙන්ම එය කලු පැහැයෙන් දිස්වේ. ඇල්ලට නම ලැබීමට හේතු වන්නට ඇත්තේද මේ කලු පැහැ ගත් තටාකය වන්නට ඇත.  


         මේ දියඇල්ල ඇත්තේද ප්‍රධාන මාර්ගයෙන් වම්පසට වැටුනු මාර්ගයක කෙටි දුරක් ගිය විටය. නැවතත් දූවිලි ඇල්ල මාර්ගයටම වැටුනු අපි සෘජු බෑවුමක් ඔස්සේ ඉහලටම නැගුනෙමු. 
උදාන්ත කන්ද තරණය කරමින්

                    තවත් පැය බාගයක ගමන ගමනකින් පසු තරමක තැනිතලා බිමකට සේනදු වුනු අප ඉදිරියේ වූ විශාලතම බාදාව වූයේ වල් හරකුන් ජෝඩුවක් මාර්ගය හරහා සිටීමයි. කියවද්දී  කෙසේ දැනුනද   මහ  වනයක් මැද්දේ එහේ මෙහේ දුව පනින වල් හරකුන්  ජොඩුවක් සිටීම සියොළග රෝමෝද්ගමනය කරවන්නකි.  මදක් වෙලා බලා සිටි අප මහ හඩින් කෑ ගැසුවෙන් උන් දෙදෙනා වනය බිදගෙන දුවගියේය. උන් ආගිය දිශාවක් සොයා ගැනීමට නොහැකි වූ නිසාවෙන් බොහෝ දුරක් යන තුරුම අප ගමන් කලේ බලවත් චකිතයකින් බව නම් කිව යුතුමය. නැවතත් දළ බෑවුමක ඉහලට ගමන් කරන්නට සිදු වූ අතර , අතිශය දුශ්කර මඟක් වූ එහි සෑම පියවර කීපයකටම වරක් නවතිමින්, විඩා නිවමින්   ඉතා සෙමෙන්  ඉදිරියට ඇදුනු අප ඇදිරි වැටීගෙන එද්දීම වාගේ නාරංගස්පල්ලම ඇල්ල අසලට පැමිනියෙමු.  අපට කලු වලල්ල ඇල්ලේ සිට නාරංගස්පල්ලම දක්වා ඒමට  පැය දෙකකට ආසන්න කාලයක් ගත වුනේය. 




       අපගේ ප්‍රථම දින නවාතැන වන්නේ මෙතැනයි. කූඩාරම අටවාගෙන මුලින්ම තේ සදාගෙන බිව් අපි. රාත්‍රි ආහාරය සඳහා බත් සමඟ පරිප්පු හා සෝයාමීට් සදාගෙන  කෑවෙමු.  අධික වෙහෙස නිසාවෙන් ඉක්මනින්ම නින්දට ගියෙමු.



පසුදා උදෑසන අවදි වූ අපි තේ සදා ගෙන බීමෙන් අනතුරුව උදේ ආහාරය ලෙස නූඩ්ල්ස් සකසා ගත්තෙමු.  

            නාරංගස්පල්ලමේ සිට බැලූ විට පහලින් පෙනෙන දර්ශනය අතිශයින් සුන්දරය, චමත්කාර ජනකය. ඉතා ඈතින් රිවස්ටන් කන්දත් , මානිගල කන්දත් දර්ශනය වේ. පෙනෙනෙ තෙක් මානයකම ඇත්තේ ගන වනාන්තරයම පමණකි. 


                        අප සොයා යන දූවිලි ඇල්ල ඇත්තේ තවත් කන්දේ ඉහලට වන්නටය. කඳවුරු භූමිය සුද්ධ පවිත්‍ර කල අපි, සියලු අපද්‍රව්‍ය පුලුස්සා දමා ගින්න හොදින් නිවා දැමුවෙමු. ඉන් පසුවය නැවතත් ගමන ආරම්භ කලේ. 


කන්දේ ඉහලට දළ බෑවුමක පැයක පමණ ගමනකින් පසුව ඒ සුවිශේෂි දිය ඇල්ල වු දූවිලි ඇල්ල වෙත ළගා වූයෙමු.  පහල සිට බැලු විට එතරම් හොදින් නොපෙනුනත් ඇල්ල පසු පසටම ගිය විටය එහි සුන්දරත්වය දුටුවේ. වර්ශාව හොදින් තිබෙන කාලයක නම් ඒ සුන්දරත්වය දෙතුණ තෙගුණ වනවා නොඅනුමානය.  දිය ඇල්ලක් පිටු පස සිට නැරඹිම අමුතුම අත්දැකීමකි. එමෙන්ම එවන් දිය ඇල්ලකින් දිය නා ගැනීමද අමුතුම අත්දැකීමකි.  


     දිය ඇල්ල පිටුපස ගුහාවක් ඇතැයි අප අසා තිබුනත් එය සත්‍ය නොවේ. ගුහාවක් නොමැති මුත් නවාතැන් ගත හැකි ස්ථානයක් ඇල්ලට   පසෙකින් තිබේ. නමුත් ජල පහසුකම් හා අනෙතුක් සියල්ල සළකා බලද්දී අප නවාතැන් ගත් නාරංගස්පල්ලම ඊට වඩා බොහෝ අගනා බවයි අපගේ හැගීම.  


දූවිපි ඇල්ල අසළ පැය භාගයක් පමණ ගත කළ අපි නැවතත් ඒම සඳහා පිටත් වූයෙමු. ඒ වන විට දහවල් 12.00 පසුවන්නට ඇත. 

අප පෙර සදහන් කළ  රඹුක්ඔලුව හා වල්පොල මුල්ල මාර්ගයන් මුණගැසෙනා මං සන්ධියට පැමිනෙන විට සවස 4 ට පමණ වන්නට ඇත.  රෑ බෝවිමට ප්‍රථම රඹුක්ඔලුව ගම්මානයට යා යුතු බැවින් වේගයෙන් ගමන් කළ අපි රාත්‍රි අදුර වැටීගෙන එද්දීම වගේ ගම්මානයට පැමිනියෙමු.  
 රඹුක්ඔලුව ගම්මානයේ වාසය කරන චූලේ අයියාගේ උපකාරයෙන් අප එම ගම කෙළවරක පිහිටා තිබූ පාසල් භූමියේ නවාතැන් ගත්තෙමු. චූලේ අයියා අප මීට පෙර පැමිණී පා ගමනකදීද අපට උපකාර කල අප දන්නා හඳුනනා ගොවි මහතෙකි.  රඹුක්ඔලුව ගමේ සිට පල්ලේගම දක්වා ප්‍රවාහන පහසුකම් සොයා දුන්නේද චූලේ අයියා විසින්මය. 


මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් රඹුක්ඔලුව ගම්වාසීන් හට නව ඉඩම් ලබා දී ඇති අතර ඔවුන්ව ඒ සදහා රැගෙන යන බසයක නැගීය අප පල්ලේ ගම බලා පැමිණියේ.  පල්ලේගම සිට දඹුල්ලටද, දඹුල්ලේ සිට කොළඹ ට බසයක පැමිණී අපි, දිවා ආහාරය කොළඹ පාවෙන වෙළදසලෙන්  ලබා ගෙන නිවෙස් බලා විසිර ගියෙමු.

ඡායාරූප   -   චින්තක සුරංග  /  ඉන්ද්‍රරාජ් වීරවංශ 

කූඩාරම් හා අනෙකුත් උපකරණ  -  මහරගම ජනාධීපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය. 

චාරිකා සංවිධායක - ඉන්ද්‍රරාජ් වීරවංශ 

ගමන් සගයින් - ඉන්ද්‍රරාජ් වීරවංශ / සමීර බණ්ඩාර / චින්තක සුරංග / උදාන්ත කලුගල්ල 

        





10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කළුඅග්ගල නෙමේ බණ්ඩා මහත්තයෝ මං කළුගල්ල.. ඒ වගේම රඹුක්ඔළුව ගමටත් දූලී ඇල්ලටක් බෙදෙන පාර මැද්ද ඉත්තෑ ගල නේද? මට නිච්චි විදියට, ඉන්දු අයියාගෙන් චුට්ටක් ෂුවර් කොරගන්න ඒනන්.. ගාටලා ගාටලා රූටලා රූටලා ගියාපූ හයිකුව පොඩ්ඩා වෙච්චි මට නම් අගෙයි! කුදලන් ගියත්, එක බොක්කේ බව දැනුනා නොඅඩුව, ඉතිං වෙච්වි වල් පල් කතා කොරන්නත් එක්ක, ඊළඟ හයිකුව දා ගන්ට කන්,  දැනට මේ කටුව ගැන ආයෙමත් මතක් කොරාට තුති! කියන ගමන්ම කොටන එක අහවර කොරන්නම්! ජයම වේවා!..

    ප.ලි
    සමි ලොක්කත් කරත්තෙක බඳින්න කලියෙන් තව හයිකු දෙක තුනක්
    වත් ගාටමූ.

    ReplyDelete
    Replies
    1. ඉත්තෑගල කියන්නේ අපි රඹූක්ඔලුවට පල්ලම් බහිද්දී හම්බඋන ගල් පොත්තට. එතනට තමයි ගමේ වෙල් යායවල් පෙනුනේ.(මට මතක විදිහට)
      මොනවා උනත් හයික් එකක් යනවා නම් ඒ ගොඩට අනිවාර්යෙන්ම ඉන්න ඕනෙ කෙනෙක් තමයි උඹ.

      බොහොම ස්තුතියි කොමෙන්ටුවට..

      ප.ලි
      බැන්දට පස්සේ මේ සෙල්ලම් බෑ කොල්ලෝ .. පේනවනේ අරුන්දැට වෙච්චි දේ..

      Delete
  3. https://www.facebook.com/photo.php?fbid=1748630148775152&set=pcb.1748630738775093&type=3&theater

    ReplyDelete
  4. එල එල මචන්. බඳින්ඩ කලින් යන ගමනක් යමන් බැන්දට පස්සෙ උබට ඕන විදිහට ටීවී එකේ චැනල් එකක්වත් මාරු කරන්ඩ හම්බෙන් නෑ..... මම දන්නෙත් නෑ බැඳපු එකෙක් තමයි මටත් කියුවෙ...

    ReplyDelete
  5. සුන්දර සංචරක සටහනක් ඇත්තටම ලංකාවේ අසිරිය කියල නිම කරන්න බෑ හැබැයි සංචාරයට ඉඩ හැරිය හොත් එම තියන සුන්දරත්වය තියාගන්නත් බෑ එම නිසා ඔය විදියට තියන එක හොඳයි.
    විචාරක දියණිය

    ReplyDelete
  6. Permissin ganne kohenda saho. Ganne kohomada.

    ReplyDelete
    Replies
    1. වන සංරක්ෂණ දෙපාර්තමේනතුවෙන් තමයි අවසර ලබා ගත යුත්තේ.

      Delete
    2. බණ්ඩා මන් මේල් එකක් දැම්මා ඔයාට. ප්ලීස් බලනවද

      Delete
  7. Narangas pallama,doovili ellata colombo idan yanawanam lesima lagama para kohomada?

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.