ගෙපැලේ මිත්තරයෝ

බඹරකන්ද ඇල්ල මුදුනේ රාත්‍රියක්

ලබන මාසේ මුල දවස් ගානක ලොකු නිවාඩුවක්.. 
සිංහල අවුරුද්ද ඉවර වුනු ගමන්ම කට්ටියම කතා උනේ ඒ ගැන... 
ගොඩක් අය වගේම අපිත් පොඩි ට්‍රිප් එකක් සැලසුම් කරා.... මැයි 1,2,3 යන්න

පා ගමනක්.. දවස් තුනක්, රෑ දෙකක්. යහන්ගල යන්න තමයි අදහස. 

මුල් දවස් වල සුපුරුදු විදිහට හය හත් දෙනෙක් හිටියා යන්න..

අප්‍රේල් 29 වෙනකොට හතර දෙනෙකුට අඩුවුනා.. 
අප්‍රේල් 30 රෑ ... දෙන්නෙක් විතරක් ඉතුරු නිසා ගමන අවලංගුයි.. (ඉතුරු දෙන්නගෙන් එක්කෙනෙක්වත් මම නෙමෙයි)

අපරාදේ නිවාඩුව.. කොහේ හරි යන්නම ඕනේ... දිනුකයි ඉන්දුයි (ඉතුරු වුනු දෙන්නා)  මැයි පළමු වනදා ආපහු යාලුවන්ට කතා කරා .. දෙන්නෙක් ඉන්න නිසා තව එක්කෙනෙක් හරි හිටියනම් ඇති..

ඉතිං... මම කැමති උනා..

               2015 මැයි මස දෙවෙනිදා.. තවත් පා ගමනක ආරම්භය. අනේක විධි කැපිලි කෙටිලි වලට පසු දිය ඇලි නැරඹීමේ අපේක්ෂාවෙන් තිදනෙකු ගෙන් යුතු ගවේශණ කණ්ඩායම කලුපහන ප්‍රෙද්ශයට ළගා වන විට පෙරවරු 10.30 පමණ වන්නට ඇත.  එතැන් සිට කිලෝමීටර් හයක් පමණ දුරක ත්‍රී රෝද රථයකින් ගමන් කලේ කාලය ඉතුරු කර ගත යුතු නිසාවෙනි.
              අප ගමන් කරන්නේ ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹර කන්ද ඇල්ල කරා යාමට නියමිත මාර්ගයේයි. එය කිසිසේත්ම දුශ්කර නොවන හොදින් සකසා ඇති මාර්ගයකි. අපේ ප්‍රධාන අරමුණ එතරම් ප්‍රසිදද නොවුනු නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙකක් නැරඹීමයි. අප දන්නා තොරතුරු වලට අනුව මේ වන තුරු කිසිවකුත් මේ දිය ඇලි අසලටම ගමන් කර නැත. අපේ අදහස කෙසේ හෝ දිය ඇල්ල පාමුලට ළගා වීමයි. 
               බඹර කන්ද දිය ඇල්ල කරා ගමන් කිරීමට ඇති තාර දැමූ මාර්ගයේ බඹර කන්ද ඇල්ල පිවිසුම් මාර්ගය පසු කරමින් තරමක දුරක් ගිය පසු හමුවන කුඩා අඩි පාරකින්  නාගදෝව හා උඩුවර නමින් හැදින්වෙන දිය ඇලි දෙක දක්වා ගමන් කල හැකියි. ඒ් මාර්ගය සැකසී ඇත්තේ පවුල් කිහිපයක් පදිංචිවී සිටින අතිශය දුශ්කර ගම්මානයක්  හරහායි. එම ගම්මානයට යාමට ඒමට ඇත්තේ කුඩා අඩි පාරක්ම පමණයි.






                 ගම් වැසියන් සියල්ලන්ම පාහේ ද්‍රවිඩ ජාතිකයන්. අප ඔවුන්ගෙන් මාර්ගය විමසුවත් අදහස් හුවමාරු කර ගැනීම එතරම්ම පහසු වූයේ නැහැ. කෙසේ හෝ ඔවුනගේ වගා බිම් හරහා ගමන් කරමින් අවශ්‍ය මාර්ගයට ලගා වන්නට අපට හැකියාව ලැබුනා. කඳු වැටියක බඳ වටා සැකසී තිබූ එම මාර්ගයේ බොහෝ කලකින් කිසිවකුත් ගමන් කර තිබුනේ නැහැ.







එම මාර්ගය සැකසී තිබුනේ දිය ඇලි පෙනෙන මානය තෙක් පමණයි.




                          එතැන් සිට ඇල්ල දක්වා නියමිත මාර්ගයක් නොමැත. ඝනව වැඩුනු මානා පඳුරු යායක් මැදින් දළ බෑවුමක් බසිමින් ඇල්ලට ළගා වීමට උත්සහයක යෙදුනෙමු. පළමු උත්සහය තරණය කල නොහැකි අන්දමේ සීග්‍ර බෑවුමකින් අවසන් විය. ඉහලට නැගුනු අපි වෙනත් මගකින් නැවත උත්සහ කළෙමු. දෙවන වර සොයා ගත් මාර්ගයේද වැඩි දුර යාමට නොහැකි විය.  මාන පඳුරු පොඩිකර ඒ මත වැතිරුනු අපි  ඉදිරිය ගැන සාකච්චා කලෙමු. අපගේ සැලසුම වී තිබුනේ මෙහි රාත්‍රිය ගත කිරීම නොවන නිසා බිස්කට් හා බීම බොතලයක් පමණක් තබාගෙන අන් සියල්ල ද්‍රවිඩ ගම්මානය පසු කර ටික දුරකින්ම පයිනස් ගසක් මුල තබා ආවෙමු. එම නිසා මෙහි රාත්‍රිය ගත කල නොහැක. කාලය බොහෝ ගතවී ඇති නිසා තවත් ඉදිරියට ගියහොත් අඳුර වැටෙන්නට පෙර පැමිණීම කල නොහැකි වනු ඇත. සියලු තර්කවිතර්කයන්ට පසු ,දිය ඇල්ල පාමුලට යෑමේ බලා පොරොත්තු සුන් කර ගත් අපි ආපසු ඒමට පිටත් වුනෙමු . බැස්මට වඩා  නැග්ම බෙහෙවින් දුශ්කර වූ අතර ගමන් මලු දමා ගිය ස්තානයට එන විට අවට තරමක මීදුමක් දක්නට ලැබුනේය.






                  ද්‍රවිඩ ගම්මානය දක්වා පැමිණි පසු ගමන වඩාත් පහසු වූයේය. පැමිනි මග දිගේම ආපසු ගමන් කල අපි ඉක්මනින් ම තාර පාරට පැමිණියේය. තාර පාර දිගේ දිගටම ගමන් කරීමය කල යුත්තේ. තාර පාර ගල් ඇල්ලු පාරකටද. ගල් ඇල්ලූ පාර බොරලු පාරකට පරිවර්තනනය වූ අතර. මාර්ගය හරහා සුන්දර දිය පහරක් ගලා ගියේය. 

 මේ මාර්ගයේ මීට පෙර ගමන් කර පුරුදු ඇත්තෙකු වූ ඉන්දු..
  "අහා දැන් ළගයි.. මට දැන් හොදට පාර මතකයි " 
                    කියූ බැවින් අපද ප්‍රණවත් වී වේගයෙන් ගමන් කලෙමු. තරමක් වෙලා ගමන් කල පසු අපට ඈතින් දිය ඇල්ලක් පෙනෙන්නට විය. එය ලංකා ඇල්ල ලෙස ඉන්දු විසින් හදුනා ගත්තේය. නමුත් කුමක් හෝ වරදක් වී ඇති බව ද ඔහු වටහා ගත්තේය.  අප වැරදි මාර්ගයක මද දුරක් ගමන් කර තිබූ අතර ආපසු හැරී නැවතත් නිවැරදි මාර්ගයට අවතීර්ණය වීමට එතරම් වෙලාවක් ගතවූයේ නැත. 
                       බොරලු පාරේ පයිනස් ගස් වගාවක් අසලින් අප ගමන් කල යු තු මාර්ගය වැටී තිබුනේය. පයිනස් වගාවක් මැදින් පල්ලම් බැසීමට සිදු වීම තරමක දුශ්කර කාර්යයකි. අඟල් ගනනක් ඝනකමට පොලව වසා ගෙන ඇති පයිනස් කොල නිසා තබන සෑම අඩියක් පාසාම ලි්ස්සන සුුලු වේ.  අප මේ ගමන් කරන්නේ බඹර කන්ද ඇල්ලේ ආරම්භක ස්ථානයටයි.  උසින් ලොව 299 වන ස්ථානයේ වැජබෙන, ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලේ මුදුනේ් රැයක් ගත කිරීමයි අපගේ අරමුණ.


බඹර කන්ද ඇල්ල ( ඡායාරූපය අන්තර්ජාලයෙනි)


                    අප එම ස්ථානයට එන විට සවස 5.30 පමණ  වන්නට ඇත. ඉන්දු හා දිනුක කූඩාරම සැකසීම කරන අතර තුර මම තේ සෑදීම සදහා සූදානම් වුනෙමි.  ගිනි දැල්වූ ස්ථානයක් මෙන්ම පයිනස් කොටයක් හරහට දමා කඳවුරු බැදීම සඳහා ආරක්ෂාකාරී තැනක්ද සකසා තිබූ බැවින් මෙහි කඳවුරු බදින පළමු පිරිස අප නොවන බව පැහැදිලිය. ලංකාවේ උසම ඇල්ලට ඉහලින් තවත් කුඩා ඇල්ලක් ඇත්තේය. ඒ ඇල්ලෙන් වැටෙන ජලයෙන් කුඩා තටාකයක් නිර්මාණය වේ.  එයින් ගලා යන ජලයෙනි බඹර කන්ද ඇල්ල නිර්මානය වන්නේ.



                           ගමනේ සොඳුරුම නිමේශය උදාවූයේ දැන්ය. භුමිතෙල් ලිපක් ගෙනවිත් තිබුනත් භුමිතෙල් නැත. තේ සෑදීමට තේ කොල හා පිටි තිබුනත් සීනි නැත. රෑ කෑම සඳහා සීනි සම්බෝල ඇත, පාන් නැත.  ගල් තුනක් තබා ලිපක් බැද පයිනස් කොල හා පයිනස් දර දමා ගිනි දල්වා සීනි නැති තේ සකසා ගත්තෙමු.  



                         රෑ බෝ වත්ම අවට පරිසරය සිසිල් වන්නට වූ අතර අපද සීතල ජලයෙන් පිරිසිඳු වී ගිනිමැලය අසලට වී සීනි සම්බෝල සමග බිස්කට් කෑවෙමු.  ඉන්පසු නින්දට.

පසුවද අපි උදෙන්ම අවදි වූවෙමු.  
ගිනිමැලය දල්වා තේ සාදාගෙන බිව්වෙමු. (සීනි = චොකලට් බිස්කට් වල ක්‍රීම්)  
ඡායාරූප ගත්තෙමු 




බඹරකන්ද ඇල්ලේ ඇරඹුම.

              උදෑසන ආහාරය සඳහා කව්පි තැම්බුවෙමු.  කව්පි තැම්බූ වතුර බිව්වෙමු.  කූඩාරම ගැලෙව්වෙමු. කඳවුරු බිම පිරිසිදු කිරීම හා ගමන් මලු සකස් කර ගැනීමෙන් පසු, නැවතත් ගමන් ආරම්භය. 
               අද අපේ අරමුණ ලංකා ඇල්ල නැරඹීමයි.  බඹරකන්ද ඇල්ල පාමුල  සිට ලංකා ඇල්ල දක්වා අඩි පාරක් ඇති අතර, අප සැරසෙන්නේ ඒ මාර්ගය සොය පල්ලම් බැසීමටයි.   




පොයින්ට් බඹර ලෙස අප නම්කල, ලක්දසුන් හි Bambarakanda Lovers ලෙස හැදින්වූ තැන





පොයින්ට් බඹර  ( ඡායාරූපය අන්තර්ජාලයෙනි)
පොයින්ට් බඹර පසු කර ටික දුර යාමෙන්  අපට අඩි පාර හමුවූ අතර එතැන් සිට ගමන පහසුය. 




  ලංකා ඇල්ල අසලට යාමට අපට පැය බාගයක් පමණ ගත වන්නට ඇත. එම සුන්දර ඇල්ල වැටෙනා වූ තැන සෑදෙන තටාකයේ හැඩය නිසා ඇල්ලට නම ලැබුනු බවය දැනගන්නට ඇත්තේ. 






සීතල ජලයේ ගිලී හොදින් දිය නා ගත්තෙමු.   උදෑසන තම්බා ගත් කව්පි ආහාරයට ගත්තෙමු.

                  අපගේ චාරිකාව මෙතැනින අවසන්ය. ආ මග දිගේම ආපසු ගමන් කර බඹරකන්ද ඇල්ල පාමුලටම පැමිනියෙමු. බඹරකන්ද ඇල්ල හා ලංකා ඇල්ල යා කෙරෙන මාර්ගයේ මැද්දෙන් පිහිටා ඇති අඩි පයිනස් ගස් අතරින් ඉහලට ගිය විටය බඹරකන්ද ඇල්ලේ ඉහලට යා හැක්කේ.  අප කඳවුරු බිමේ සිට පහලට ආවේ ඒ මාර්ගයෙන්ය. 
                බඹරකන්ද ඇල්ල නැරඹීම සඳහා කොන්ක්‍රීට් දමා සකස් කරන ලද පාරක් පඩිපෙළවල් හා පාළම් ඇති නිසා ප්‍රවේශ පත්‍ර ලබා ගත් තැන් සිටම  පහසුවෙන් ගමන් කළ හැකිය. එම නිසාවෙන්  ඇල්ල නැරඹීමට පැමිනෙන පිරිස බොහෝය. පොලිතින් හා අනෙතුක් අපද්‍රව්‍යද බොහෝමය.   
          කලුපහන මංසන්ධිය දක්වා පයින් පැමිණි අපි, එහි තිබූ හෝටලයකින් පරාටා කා සීනි දැමූ තේ බිව්වෙමු. කොළඹ බලා ගමන් කරනා බසයක නැගී නිවෙස් බලා ආවෙමු.

 





22 comments:

  1. හොඳ විස්තරයක්. මෙතනට යන්න හිතන අයට හොඳ මග පෙන්වීමක්. ඔබේ ගමනේ අඩුපාඩු මේවායි.

    ගමන යන පිරිස වරින් වර වෙනස් කරන්න එපා. සමහරවිට බෑ කියන්න බැරි නිසා ශරීර සෞඛ්‍යය අතින් නුසුදුසු කෙනෙක් ආවොත් අමාරුවේ වැටෙනවා.

    යන්න කලින් ඒ ප්‍රදේශය ගූගල් මාප එකෙන් හොඳින් පරීක්ෂා කරන්න. බොහෝවිට එමගින් දල වශයෙන් පාරක් හොයාගන්න/සිතියමක් සකස් කරගන්න පුළුවන්.

    ඒ ප්‍රදේශයේ පොලීසියේ දුරකථන අංකය රැගෙන යන්න. හදිසියකදී ඔබේ යාලුවන්ව අමතා එමගින් ආධාර හොයන්න ගියාම අනවශ්‍ය ලෙස කාලය වැය වෙනවා.

    ඔබ කිසිදු ප්‍රථමාධාර ද්‍රව්‍යයක් ගෙනගො නැහැ. එය විශාල අඩුවක්.

    ගමන පිටත්වීමට පෙර සහ ගමනේ ඒ ඒ අදියරේදී පරීක්ෂා කලයුතු check list එකක් රැගෙන යන්න. එහි සඳහන් කර තිබිය යුතුයි සියලු මාර්ගෝපකරණ සහ ආරක්ෂක පියවර පිලිබඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. අපි හොදින් දන්නා පිරිසක් පමණයි මේ වගේ ගමන් වලට සහභාගී කර ගන්නේ. ඒ නිසයි කට්ටිය අඩු.
      අවශ්‍ය අංක සියල්ල අප සතුව තිබෙනවා. නමුත් දුරකථන විශ්වාස කිරීම අමාරුයි. බොහෝ දුරට මේ පැති වලට සිග්නල් නැහැ. අප යන මාර්ගය පිළිබදව අපගේ මිතුරන් දැනුවත්ව සිටිනවා. අප සැලසුම් කරගත් මාර්ගයන් වරින් වර වෙනස් කරන්නේ නෑ. මෙම චාරිතාව කෙතරම් හදිස්සියේ සංවිධානය උනත්, ඒ කාරනා සියල්ල නිසි පරිදි සිදු කෙරුනා.
      අංග සම්පූර්ණ ප්‍රථමාධාර කට්ටලයක් අප සතුව තිබුනා. මා එය පිළබදව විශේෂයෙන් සඳහන් කලේ නැහැ. අතරමඟ දමා ගියේ කූඩාරම හා උයන පිහින උපකරණ පමණයි.

      Delete
  2. ane me... ubala wage aeun thamai antimata gamana aenna ba kiuwe.....nikan wadak balagena palayan yanna,,,aenawa methana Bandata kiyala denna.....

    ReplyDelete
  3. මේක මගෙත් ප්‍රියතම විෂයයක්. ඒ වුණත් වගකීම් වැඩි නිසා සමහර අවදානම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතාම ආසාවෙන් කියෙව්වා. පෙර සුදානම අවශ්‍යයි. ඒ වගේම Plan B එකකුත් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. පෙර සූදානම අවශ්‍යයි.
      බඹරකන්ද චාරිකාව අපි පසුවට යන්න සැලසුම් කරන ලද්දක්. මෙවර යාමට සැලසුම් කල යහන්ගල චාරිකාව යෑමට නොහැකි නිසා ඒ වෙනුවට බඹරකන්ද චාරිකාව ඉහලට ආවා.

      Delete
  4. මගෙත් ආසම subject එකක තමයි මේක​. කාලෙකින් කොහෙවත් යන්න බැරිවුණා :(

    ReplyDelete
    Replies
    1. යමු යමු. .. ගිහින් ඇවිත් විස්තරෙත් ලියමු...

      Delete
  5. මරු නේව හුඟ කාලේකින් කොහේවත් ගියේ නැහැනේව ප්ලෑනක් ගහන්ට ඔන

    ReplyDelete
    Replies
    1. දැම්ම ප්ලෑනක් ගහන්න.. අපිත් ප්ලෑන් කලා කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි යන්නේ.

      Delete
  6. හෙන ආසයි බං.. මේ වැඩ වලට. උඹලගේ සුදානම හරිම දුර්වලයි.. විචා කියපු දේවල් අහපං... ජය වේවා. පරිස්සමින් ආවට.. මානා පසුරු එක්කයි පයිනස් කොල එක්ක පල්ලම් බැහැල්ල කොච්චර අමාරුද අප්පා..

    ReplyDelete
    Replies
    1. සූදානම දුර්වලයි....

      මට එහෙම හිතෙන්නෙ නෑ.. සමහර විට මම පූර්විකාවක් වගේ ලියපු සටහන නිසා එහෙම අදහසක් ආවාද දන්නෙත් නෑ.

      මාන පඳුරු ගැන, පයිනස් කොල ගැන කතා කරන්න දෙයක් නෑ... හපොයි.

      Delete
  7. බඹරකන්දට නම් ගියා කල්පයකට ඉස්සර..පාමුලටයි ගියේ..සීතල වතුරත් නාලයි ආවෙ. ඔයාලනම් මුදුනටත් ගිහින්..ෂහ්..මරුනෙ

    ReplyDelete
    Replies
    1. අපිත් ඇල්ල මුදුනේ තියෙන තටාකයෙන් නාන්න තමයි හිතන් හිටියේ... සීතලම සීතල වතුර. කොහේ නානවද.. යන්තං මූන හෝදා ගත්තා. ඒකත් සෑහෙන්න අමාරුවෙන්.

      Delete
  8. සුපිරි ආ යන්න ඕන ලගදීම..අපිත් නකල්ස් වලට ගැස් නැති සිලින්ඩරයක් උස්සන් ගියා නොවෑ ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ වෙනවා ඕන තරං...

      Delete
  9. අර යාළුවො හැලෙන සීන් එක නං සාමාන්‍යයි ඒක කොහෙත් වෙන එක...
    මේක නං මාන්දමිකයි
    ///භුමිතෙල් ලිපක් ගෙනවිත් තිබුනත් භුමිතෙල් නැත. තේ සෑදීමට තේ කොල හා පිටි තිබුනත් සීනි නැත. රෑ කෑම සඳහා සීනි සම්බෝල ඇත, පාන් නැත. ගල් තුනක් තබා ලිපක් බැද පයිනස් කොල හා පයිනස් දර දමා ගිනි දල්වා සීනි නැති තේ සකසා ගත්තෙමු. ////

    අර විචා කියල තියෙන දේවල් ගැන අවධානය යොමු කරන්න එතකොට අඩු පාඩු හදාගන ආයෙ ගමනක් යන්න පුලුවන් වෙයි...
    සටහන යම් තාක් දුරකට අගෙයි බට් කම්ප්ලීට් නැ...

    ආයෙත් එංඥං

    ReplyDelete
    Replies
    1. සීනි, පාන් භූමිතෙල් නැති බව අපි ගමන පටන් ගනිද්දිම දන්නවා. අපේ සැලසුම වුනේ කලු පහන ප්‍රෙද්ශයෙන් ඒවා මිලදී ගන්න. ඒ උනත් අපි බලපු කඩේ ඔය එක ජාතියක් වත් තිබුනේ නෑ. ඉතින් අපි තීරණය කරා ඒ කිසිම දෙයක් නැතුව චාරිකාව යන්න.

      ආයෙත් එමු...

      Delete
  10. බඹරකන්දට ගියා වගේ.........

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්... ගියා නේන්නං.....

      Delete
  11. උඹ ජීවිතය විඳින බණ්ඩෙක්. මම කොහෙදිද කියෙව්වා. Travel when you are young and still able කියලා. උඹලා ඒක අනුගමනය කරනවා අකුරටම.

    මමත් ආසම දෙයක් තමයි සංචාරය...

    ReplyDelete
    Replies
    1. වැඩ කරලා කරලා ඉවසගන්න බැරි උනහම හොඳම බෙහෙත තමයි සංචාරය...
      අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...

      Delete
  12. අපි ඇලි හතේ ගිහින් ගත්තා ආතල් එක මතක් උනේ...වෙලාවක ලියලා දාන්නම් ඒ ගැනත්..ඒක හරිම අවධානම් සහගත ගමනක් උනා බං...මතක් වෙද්දිත් භය හිතෙනවා. අපි මේ රටවල කාමරයකට කොටු වෙලා මේවා බලනකොට තොපිලා ගැන ඉරිසියය් යකෝ...

    ReplyDelete

මගේ පුංචි පැල් කොටේට ගොඩවැදුනට බොහොම ස්තුතියි.
ආපු එකේ ඉතිං හිතේ තියෙන දෙයක් කියලම ගියානං.